මීගමුවේ විපක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි

0
113

 

පසුගිය වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මීගමුව මහා නගර සභාවට තේරී පත්ව ආ විපක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු වන අබ්දුල් අශීස් මහතා අද දින (09/06/2026) සිය නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද දින පෙරවරුවේ මීගමුව මහා නගර සභාවේ, රැස්වීම් ශාලාවේ පැවැති ජුනි මස මහා සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මෙලෙස සිය නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර තිබේ.
මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් ක්‍රියාකාරි දේශපාලනයට පිවිසී ඒ මහතා ප්‍රථම වතාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ, දකුණු පල්ලන්සේන කොට්ඨාශයට තරඟ කළේය. එම පළාත් පාලන මැතිවරණයෙන් මීගමුව මහා නගර සභාවට විපක්‍ෂ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුනු අබ්දුල් අශීස් මහතා එලෙස තේරී පත් ව වසරක පමණ කාලයකින් මෙලෙස එම නාගරික මන්ත්‍රී ධූරයෙන් අද දින ඉල්ලා අස්විය. මෙම ඉල්ලා අස්වීමට හේතුව ලෙස සඳහන් වන්නේ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය වන මුස්ලිම් කොංග්‍රස් පක්ෂය සමඟ ඇතිකර ගෙන ඇති එකඟතාවන් කිහිපයක් බවද පසුව වාර්තා වුණි. එනම් නාගරික මන්ත්‍රීධූරයට පත් වී වසරක් ඉක්ම ගිය පසු එම පක්‍ෂයේ තවත් ක්‍රියාධරයෙකුට අවස්ථාවක් ලබා දීම මෙම එකඟතාව බවද පසුව වැඩිදුරටත් වාර්තා වුණි.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම නාගරික මන්ත්‍රීධූරය සඳහා මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ ,කම්මල්තොට කොට්ඨාශය නියෝජනය කළ මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ ක්‍රියාධරයෙකු ඒ සඳහා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද පසුව වාර්තා විය.

කෙසේ වෙතත් ,අද දින මෙලෙස සිය නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලාා අස් වු මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රී අබ්දුල් අශීස් මහතා ජනතාවගේ ප්‍රශ්න ගැටළු වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන සමාජ සේවක ක්‍රියාදරයකු ලෙස කොච්චිකඩේ , පල්ලංසේන ප්‍රදේශයේ මෙන්ම සමස්ත මීගමුව පුරවරයේම වඩාත් ප්‍රකට පුද්ගලයෙකු බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

විශේෂයෙන්ම මීගමුව මහා නගර සභාවේ, පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු සමග ඉතා සුහදශීලීව කටයුතු කළ විපක්‍ෂ නාගරික මන්ත්‍රීවරයකු ලෙසද ඔහු මීගමුවේ මහා නගර සභාව තුළ කා අතරත් කතාබහට ලක්වන පුද්ගලයකි .

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here