නූතන ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සුපිරිම කම්බැක් එක

0
123

නූතන ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සුපිරිම කම්බැක් එක 🔥🔥🔥

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බෙල්ජියම සහ සෙනගල් අතර පැවැත්වුණු සුපිරි 32 වටයේ තරගය ඇත්තටම පාපන්දු ඉතිහාසයට එකතු වන විදියේ එකක් වුණා. සීඇටල් ක්‍රීඩාංගණයේ (Lumen Field) පිරී ඉතිරී ගිය රසිකයන් මැද පැවැත්වුණු මේ තරගයෙන් බෙල්ජියම 3-2ක ජයක් ලැබුවේ මෙවර තරගාවලියේ එතෙක් මෙතෙක් දකින්න ලැබුණු ලොකුම කම්බැක් එක සටහන් කරමිනුයි. තරගය ආරම්භයේදී සෙනගල් පිල ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් අඩු මට්ටමක හිටියත්, ඔවුන් තමන්ගේ උපරිම වේගය සහ ශක්තිය පාවිච්චි කරලා බෙල්ජියම් මැදපෙළ අඩපණ කරලා තරගයේ පාලනය තමන් අතට ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තරගයේ 25 වැනි මිනිත්තුවේදී ඉස්මයිලා සාර් හිසෙන් එල්ල කරපු ප්‍රහාරය ගෝල් කණුවේ වැදී එද්දී, වේගයෙන් දිව ආපු හබීබ් දියාරා ඒක සාර්ථකව ගෝලයක් බවට පත් කරලා සෙනගල් පිල 1-0ක් විදිහට ඉදිරියට ගත්තා. ඊට පස්සේ දෙවැනි අර්ධය ආරම්භ වෙලා 51 වැනි මිනිත්තුවේදී මූසා නියාකතේ දුන්න දිගු පාස් එකක් පපුවෙන් පාලනය කරපු ඉස්මයිලා සාර්, බෙල්ජියම් ගෝල් රකින්නා වුණු තිබෝ කෝටුවා පරද්දලා සෙනගල් පිලට 2-0ක සුපිරි පෙරමුණක් අරන් දුන්නා.

තමන්ගේ කණ්ඩායම අසරණ වෙලා ඉන්නවා දැකපු බෙල්ජියම් පුහුණුකරු රූඩි ගාසියා තරගයේ 56 වැනි මිනිත්තුවේදී ලොකු තීරණයක් ගත්තා. ඔහු කණ්ඩායමේ හිටපු සුපිරි තරු දෙකක් වන කෙවින් ඩි බෲනේ සහ ජෙරම් ඩෝකුව පිටියෙන් ඉවත් කරලා රොමේලු ලුකාකුව පිටියට එව්වා. මේ වෙනස්කම තරගයේ අග භාගයේදී බෙල්ජියමට ලොකු වාසියක් වුණා. තරගයේ 86 වැනි මිනිත්තුවේදී තෝමස් ම්‍යුනියර් දුන්න ක්‍රොස් එකකින් ලුකාකු ගෝලයක් ගහලා බෙල්ජියමට බලාපොරොත්තුවක් දුන්නා. සෙනගල් කණ්ඩායම කලබල වුණේ ඊට පස්සෙයි. හරියටම තත්පර 161කට පස්සේ, ඒ කියන්නේ 89 වැනි මිනිත්තුවේදී ලෙඇන්ඩ්‍රෝ ට්‍රොසාඩ් එවපු ක්‍රොස් එකක්, සෙනගල් කණ්ඩායමේ ආදේශක ගෝල් රකින්නා වුණු මොරි දියව්ට හරිහැටි අල්ලගන්න බැරි වුණා. එහිදී ක්‍රියාත්මක වුණු නායක යූරි ටීලමන්ස් හිස් ගෝල් කණුව තුළට පන්දුව හිසෙන් යොමු කරලා තරගය 2-2ක් විදිහට සම කළා.

තරගය අතිරේක කාලය දක්වා ඇදී යද්දී සෙනගල් ක්‍රීඩකයන් සෑහෙන්න මහන්සි වෙලා හිටියේ. හැමෝම හිතුවේ තරගය පෙනල්ටි ෂූට් අවුට් එකකට යයි කියලා, හැබැයි 120 වැනි මිනිත්තුවේදී සියල්ල වෙනස් වුණා. පන්දුවක් වෙනුවෙන් යූරි ටීලමන්ස් සහ සෙනගල් පිලේ ලැමින් කැමරා දෙන්නම බොක්ස් එක ඇතුළේ ලිස්සා යද්දී (slide) දෙන්නා එකිනෙකා ගැටී ටීලමන්ස් බිම ඇද වැටුණා. විනිසුරු මුලින් තරගය පවත්වාගෙන යන්න කිව්වත්, VAR පරීක්ෂාවෙන් පස්සේ නැවත බලලා බෙල්ජියමට පෙනල්ටි එකක් ලබා දුන්නා. මේ තීරණය නිසා සෙනගල් ක්‍රීඩකයන් හොඳටම කේන්ති ගත්තා. ඔවුන් විනිසුරුව වට කරලා විරෝධය දැක්වූවා විතරක් නෙවෙයි, එක ක්‍රීඩකයෙක් පෙනල්ටි ගහන තැන (penalty spot) උඩ මුනින් අතට වැතිරිලා පෙනල්ටි එක ප්‍රමාද කරන්නත්, ෂූටර්ව නොසන්සුන් කරන්නත් උත්සාහ කළා.

මේ මුළු කලබලය නිසා විනාඩි හතක විතර ලොකු ප්‍රමාදයක් සිදු වුණා. හැබැයි ඒ කිසිම දේකින් නොසන්සුන් නොවුණු යූරි ටීලමන්ස් 120+4 වැනි මිනිත්තුවේදී පෙනල්ටි එක ඉතාම ලස්සනට ගෝලයක් බවට පත් කරමින් බෙල්ජියමට 3-2ක ඓතිහාසික ජයක් අත්කර දුන්නා. මේ සුපිරි ජයග්‍රහණයත් එක්ක බෙල්ජියම නිල වශයෙන්ම සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ ඇමරිකාව හෝ බොස්නියාව යන කණ්ඩායම් දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමටයි. අප්‍රිකානු පාපන්දු ඉතිහාසයේ ලස්සනම තරගයක් ක්‍රීඩා කරපු සෙනගල් කණ්ඩායම අවසානයේදී ඉතාම කණගාටුදායක විදිහට තරගාවලියෙන් ඉවත් වුණා.

Foodball SL Mania

#BELSEN #FIFAWorldCup2026 #BelgiumFootball #SenegalFootball

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here