මීගමුව සංචාරක හෝටල් කලාපයට පිවිසීමට ඇති ප්‍රධානතම මාර්ගයක් වන කට්ටුව – ඒත්තුකාල පාරේ ඇති දුමිරිය හරස් මාර්ගයේදි අද (17/07/2026) උදෑසන ධාවනය වෙමින් තිබු දුමිරියක , යතුරු පැදියක් ගැටී, එම යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
වාර්තා වන පරිදි , සතියේ දිනවල කොළඹ සිට හලාවත බලා ධාවනය වන මෙම දුම්රිය සාමාන්‍යයෙන් උදෑසන 6.55 ට පමණ මීගමුව දුම්රිය ස්ථානයට ළඟා වන නමුත් අද දින එම දුමිරිය , මීගමුව දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ මිනිත්තු 22 ක පමණ ප්‍රමාදයකින් පසුවයි. එනම් එම දුම්රිය, මීගමුව දුමිරිය ස්ථානයට අද පැමිණ තිබුණේ උදෑසන 7.17 ට පමණය.ඒ අනුව මෙම දුමිරිය , මීගමුව සිට කට්ටුව දුම්රිය ස්ථානයට පැමිණීමට තවත් මිනිත්තු 06 ක පමන කාලයක් ගතව තිබේ. ඒ අනුව කට්ටුව දුමිරිය ස්ථානයට ඉතා ආසන්නව, මෙම අනතුර සිදුවු කට්ටුව-ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය පිහිටා තිබේ. යතුරු පැදිකරු සිය ” හොන්ඩා-ඩියෝ” වර්ගයේ යතුරු පැදියෙන් පැමිණ තිබුනේ ඒත්තුකාල ප්‍රදේශයේ සිට කට්ටුව දෙසට හෙවත් හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගය දෙසට යාමටය. අද උදෑසන මෙම දුම්රිය කට්ටුව දුමිරිය ස්ථනයට පැමිණීමට ස්වල්ප වේලාවකට පෙරාතුව එම දුම්රිය හරස් මාර්ගයේදී මෙම යතුරු පැදිය හා ගැටී තිබුණි.
මෙම අනතුරින් එම, ස්ථානයේදීම මිය ගොස් තිබුනේ උතුරු කටාන , ” සිටි ග්‍රේට් ” හී අංක 100/21- A දරණ ස්ථානායේ පදිංචි හලප්පෙරුමගේ චන්දන රුවන් කුමාර, නැමැති 49 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි. ඔහු වෘත්තියෙන් කාර්මිකයෙකි. ඔහු සේවය කරන්නේ කොළඹ ප්‍රදෙශයේ වන අතර ඔහුගේ ආයතන ප්‍රධානියාගේ පුතෙකුට අයත් ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සඳහා දිනපතා මොහු විසින් මාළු සැපයීමක් සිදු කරන බවත් වාර්තා වුණි. අද උදෑසනත් එලෙස ඔහු එම හෝටලයට මාළු සපයා ආපසු පමිණෙමින් සිටියදී ඉතා අවසනාවන්ත ලෙස මෙම අනතුරට ලක් වු බව වැඩිදුරටත් වාර්තා වුණි.
මෙම දුම්රිය හරස් මාර්ගය සඳහා ආරක්ෂිත ගේට්ටු සවි කර නොමැත. එහි විදුලි සංඥා එළි සහ සයිරන් නලා පද්ධතියක් සවිකර ඇති අතර එම පද්ධතිය සක්‍රිය තත්වයෙන් පවතින බවද වැඩි දුරටත් වාර්තා විය.
කෙසේ වෙතත් ප්‍රදෙශවාසීහු සහ මෙම මාර්ගය භාවිතා කරන වැඩි දෙනෙකු පවසන්නේ,මෙම දුමිරිය හරස් මාර්ගය දැඩි ආනාරක්ෂිත ස්ථානයක් බවය. දුමිරියක් ධාවනය වන්නේදැයි ඈතට නොපෙනෙන බවත් ඔවුන් පවසයි. ඒ නිස විදුලි සංඥා එළි සහ සයිරන් නලා පද්ධතියක් සවිකිරීම, මෙම ස්ථානය හරහා ගමන් කරන විශාල පිරිසකගේ ආරකෂාවට ප්‍රමානවත් නොවන බව ඔවුන් වැඩිදුරටත් පවසයි. එලෙසම ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම මාර්ගය භාවිතා කරමින් යතුරු පැදි ඇතුළු රථ වාහන විශාල සංඛ්‍යාවක් දිනපතා දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදිද එක හා සමානව ගමන් කරන නිසා මෙම ස්ථනයට ආරක්ෂිත දුම්රිය ගේට්ටු සවි කල යුතු බවයි. එලෙසම මෙම දුමිරිය හරස් මඟ හරහා විදෙස් සංචාරකයන්ද වැඩි වශයෙන් පයින් ගමන් කරන අතර එලෙසම තවත් බොහෝ විදේශ සංචාරයන් වැඩි ප්‍රමානයක් පාපැදි , යතුරුපැදි සහ ත්‍රී රෝද රථ වලින් ද සංචාරක හෝටල් සහ මුහුදු වෙරළ වෙත ගමන් කරන නිසා ද මෙම ස්ථනයට අනිවාර්යයෙන්ම ආරක්ෂිත දුම්රිය ගේට්ටු සවි කල යුතු බව ප්‍රදේශවාසී හෝටල් ව්‍යාපාරිකයන්ගේත්, එලෙසම මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව සේම වෙනත් ප්‍රදෙශවලින් මෙහි පැමිනෙන බොහෝ දෙනෙකුගේ ද අදහස වී තිබේ.
මීට දින 04 කට කලින්ද එනම් පසුගිය 13 වැනි (13/07/2026) දින ද මීගමුව , කට්ටුව , කැවුම් කඩේ අසලින් පළඟතුරේ ප්‍රදේශයට දිවෙන පාර එනම් ශාන්ත සෙබස්තියන් පාරේඇති දුම්රිය හරස් මාර්ගයේදී ද ලොරි රථයක්, හලාවත සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියක ගැටී සිදු වු අනතුරකින් එම ලොරි රථයේ රියදුරු, සහයක සහ එම ලොරී රථයට පසු පසින් පැමීනි යතුරු පැදියක පැමිනි ගුරුවරියක් තුවාල ලැබු අතර එම තිදෙනාවම මීගමුව මහා රොහලට ඇතුලත් කර තිබිණි. ඒ අනුව දින 05 ක් ඇතුලත මීගමුව ,කට්ටුව ප්‍රදෙශයේ දුමිරිය හරස් මාර්ගයන් හීදි සිදුවු අඛන්ඩ දෙවන අනතුර මෙය වේ.





















