නවක නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති සමඟ මීගමුවේ අගෝස්තු මහා සභාව ඇරඹේ !;

0
116

 

මීගමුව මහා නගර සභාවේ අගෝස්තු මාසයට අදාළ මහා සභා රැස්වීම අද දින (06/08/2026) පෙරවරුවේදී පැවැත්විණි. ඒ, මෙතෙක් නියෝජ්‍ය නගරාධිපති ධුරය හෙබවූ, සහ නොබොදා මීගමුවේ 20 වැනි නගරාධිපතිවරයා ලෙස එම ධුරයේ වැඩ භාර ගත් දුලිප් චාමර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී මීගමුව මහා නගර සභාවේ පුරප්පාඩු වු නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා පසුගියදා දිවුරුම් දුන් නීතිඥ මොහොමඩ් ෆසීර් මහතා ද නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස අද දින සිය ප්‍රථම මහා සභා රැස්වීමට සහභාගි විය.
එලෙසම පසුගියදා ඉල්ලා අස්වනු මීගමුවේ නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතාගේ පුරප්පාඩු වු එම නාගරික මන්ත්‍රී ධූරය සඳහා ද මීගමුව , පළාඟතුරේ කොට්ඨාශය වෙනුවෙන් ලැයිස්තු ගත අ⁣පේක්ෂක දිනේෂ් සුලෝචන මහතා ද අද දිනයේ ආණ්ඩු පක්ෂ නවක නාගරික මන්ත්‍රීවරයකු ලෙස මෙම මහා සභා රැස්වීම සඳහා ප්‍රථම වතාවට සහභාගි විය.
වෘත්තියෙන් පෞද්ගලික මූල්‍ය ආයතනයක
අලෙවි උපදේශකවරයෙකු ලෙස සම්බන්ධ වී මේ වන විට ඔහු එහි, කලාප කළමනාකාරවරයකු ලෙස සේවය කරයි. එමෙන්ම ඔහු ජාතික ජන බලවේගයේ පලඟතුරේ කොට්ඨාස සභාවේ සභාපති වශයෙන්ද පළගතුරේ ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිවරයා ලෙසද මීගමුව ආසන විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

අද දින පැවති මහා සභා රැස්වීමේදී අභිනව නගරාධිපතිවරයාටත් නියෝජ්‍ය නගරාධිපතිවරයාටත්, එලෙසම ආණ්ඩු පක්ෂයේ නවක නාගරික මන්ත්‍රීවරයටත් , සුභ ප්‍රාර්ථනා කරමින් සංගීත් පෙරේරා ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරයා අදහස් පළ කළ අතර එහිදී ඔහු කියා සිටියේ ආන්ඩු පක්ෂ සහ විපක්ෂ භේදයෙන් තොරව මෙතැන් පටන් මහා නගර සභාව නව නායකත්වයක් යටතේ මීගමුව සංවර්ධනයට සෑවොම දායක විය යුතු බවයි. එලෙසම, මීගමුව මහා නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායිකා (සජබ) දිළිනි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය නගරාධිපතිවරයාට නියෝජ්‍ය නගරාධිපතිවරයාට හා නවකආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාටද සුභ පතමින් ප්‍රකාශ කළේ පසුගිය වසරකට අධික කාලය තුළ මීගමුව මහා නගර සභාව තුළ සියලු නාගරික මන්ත්‍රීවරුන්ට එක හා සැලකීමක් සිදු නොවූ බවයි . ඒ අනුව හිටපු නගරාධිපතිවරයා, පාලනය කල , පසුගිය වසරක පමණ කාලය තුළ එලෙස සිදු වූවත්, මෙතැන් පටන් හෝ නව නගරාධිපතිවරයාගේ පාලනය තුළ එවැනි අකටයුතුකම් සහ නොසැලකීම්, නොමැතිව සියළු නාගරික මන්ත්‍රීවරුන්ට ඒක ලෙස සලකන පාලනයක් සිදු කරන ලෙස ද ඇය එහිදී ඉල්ලීමක් කළාය. ඒ අනුව මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ දයාල් නිලංග, සජිත් මෝගන් , මොහොමඩ් නුස්රි සහ සුමිත් ප්‍රනාන්දු ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද සභාව ඇමතිය.

මෙහිදී නව නියෝජ්‍ය නගරාධිපති ලෙස පත් වූ නීතිඥ මොහොමඩ් ෆසීර් සභාව අමතමින් ප්‍රකාශ කළේ ඉදිරියේදී මීගමුව ගොඩනගන්නට සියලු පක්ෂ භේද වලින් තොරව , නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස තමන් සහ නවක නගරාධිපතිවරයාගේ නායකත්වය මත , තම ආණ්ඩු පක්ෂය , කටයුතු කරන බවයි. ඒ අනුව නිවැරදි තීන්දු තීරණ ගැනීමට තම කණ්ඩායම කටයුතු කරන බවද ඔහු එහිදී පැවසීය.

තවද නවක නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ තමන් කිසි ලෙසකත් කිසිදු නාගරික මන්ත්‍රීවරයකුට විශේෂත්වයක් ගෙන කටයුතු නොකරන බවයි. එනිසා මීගමුව සංවර්ධනය වෙනුවෙන් තමන් හා එක්ව කටයුතු කරන ලෙසද ඔහු සියලු ආක්ඩු පක්ෂ සහ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here