මෙවර 42 වන ජාතික මීලාදුන් නබි උත්සවය එළඹෙන 26 වන දින ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුවේදී පැවැත්වීමට නියමිතය . ඒ අනුව එම ප්‍රධාන සැමරුමට සමගාමීව, පෙරියමුල්ල මුස්ලිම් මහා දේවස්ථානයේදී පැවැත්වුණු “වෙල් කම් ටු අවර් මොස්ක් ”
(WELCOME TO OUR MOSQUE) වැඩසටහන ආගමික සහජීවනය විදහාපාන වැඩසටහනක් බවට පත් විය.
අද (24/08/2026) පෙරවරුවේ පෙරියමුල්ල මුස්ලිම් මහා දේවස්ථානයේදී පැවැත්වුණු මෙම සුවිශේෂ දුර්ලභ වැඩසටහන, ඉස්ලාම් දහමේ මානව දයාව, කරුණාව, ආදරය සහ සහෝදරත්වය මුළු මහත් සමාජයටම විදහාපාන අද්විතීය අවස්ථාවක් විය. “අපගේ දේවස්ථානයට සාදරයෙන් පිළිගනිමු” යන තේමාව යටතේ ආගම් ජාති සහ කුල මල භේදවලින් තොරව ,පොදු ජනතාවට මුස්ලිම් දේවස්ථානය නැරඹීමට විවෘත ආරාධනාවක් ලැබුණේ, ආගම් අතර පවුරු බිඳ දමා හදවත් එකට යා කරන අරමුණකිනි.
ඒ අනුව අද උදෑසන 9.30 ට පමණ පැවති සමාරම්භක උත්සවය දේශපාලන, ආගමික සහ සමාජ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලී, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති චාමර ප්‍රනාන්දු, නියෝජ්‍ය නගරාධිපති ෆශීර් මොහොමඩ් සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි යන මහත්ම මහත්මාවන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ.
මෙම අවස්ථාවේ වඩාත් සුවිශේෂී කාරණයක් බවට පත් වූයේ, ප්‍රදේශයේ ගරු කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් විශේෂ ආරාධනා ලැබ මෙම වැඩසටහනට සහභාගී වීමයි. එය ආගම් භේදයෙන් තොරව එකිනෙකාට ගරු කරමින්, සුහදව අත්වැල් බැඳගෙන සිටින ආකාරය ලොවටම කියාපාන දසුනක් විය.
ආරාධිත අමුත්තන් විසින් සිදුකළ කෙටි දෙසුම්වලදී ආගමික සහජීවනය, සාමය, සහෝදරත්වය සහ සංහිඳියාව වැනි ගුණාංගවල ඇති වැදගත්කම විශේෂයෙන් අවධාරණය කෙරිණි. දේවස්ථානය නැරඹීමට පැමිණි විශාල පිරිසකට ඉස්ලාම් ආගම පිළිබඳ නිවැරදි අවබෝධයක්, එහි ආගමික වටිනාකම්, සංස්කෘතිය සහ දේවස්ථානයක් තුළ සිදුකෙරෙන නැමදුම් වත්පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළහ.
මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ, මුස්ලිම් දේවස්ථානයේ සංවිධායක මණ්ඩලය විසින් එහි අංග පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීම් සිදුකිරීමට අමතරව, සිංහල භාෂාවෙන් ලියැවුණු ශුද්ධ වූ අල්-කුරානයේ පිටපත් සහ තවත් මුස්ලිම් ආගමික ග්‍රන්ථ කිහිපයක පිටපත් තිළිණ ලෙස පිරිනැමීමයි. එපමණක් නොව, දේවස්ථානයට අයත් තරුණ පිරිසක් විසින් පැමිණි අමුත්තන්ගේ නම් අරාබි අක්ෂරයෙන් ලියා මතක සටහන් ලෙස පිළිගැන්වීම ද, සිදුවිය. එලෙසම පැමිණ සිටි සියලු දෙනාටම කෙටි ආහාර පාන සංග්‍රහයක් ලබාදීමටද පෙරියමුල්ල මුස්ලිම් මහා දේවස්ථානයේ සංවිධායක මණ්ඩලය විසින් කටයුතු කර තිබිණි.
“වෙල් කම් ටු අවර් මොස්ක්” වැඩසටහන මගින් මීගමුවේ විවිධ ජාතීන් සහ ආගම් අදහන ජනතාව අතර පවතින සුහදත්වය, එකමුතුකම සහ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කළහ. මෙය සැබවින්ම සමස්ත ශ්‍රී ලාංකික සමාජයටම ආදර්ශයක් වන, සාමයෙන් සහ සහජීවනයෙන් පිරුණු අනාගතයක් වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් බවට සැක නැත. ආගමික භේදවලින් ඔබ්බට ගිය මානව බැඳීම් ඉස්මතු කරමින්, මීගමුව පෙරියමුල්ල මුස්ලිම් මහා දේවස්ථානය සැබවින්ම මීගමුව නැමැති මේ අප සුන්දර දේදුණු පුරවරයේ නව බලාපොරොත්තුවක් දැල්වු අවස්ථාවක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකිය.
සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු
































