මීගමුව නගරාධිපතිවරයාට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්. ….

0
425

 

පසුගියදා , මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී , ජීවිතක්ෂයට පත්වූ ඉන්දීය ජාතික රැඳවියෙකු වන “අම්නිතන් සරත් චන්ද්‍රන්” (UMNITHAN SARATH CHANDRAN) නැමැත්තාගේ මෘතදේහය මිහිදන් කිරීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින (28/08/2026) මීගමුව මහා නගර සභාවේ නගරාධිපතිවරයාට නියෝගයක් නිකුත් කලේය.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය හමුවේ මීගමුවේ බන්ධනාගාරයේ ඇති වූ එම ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් වන නඩුව අද දින (28/08/2026) යළි කැඳවන ලදී. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (C.I.D.) උප පොලිස් කොස්තාපල් දුලංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වන විට, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකර ඇති සහ තවදුරටත් සිදුවෙමින් පවතින විමර්ශන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (C.I.D.) නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, මියගිය ඉන්දීය ජාතිකයාගේ මෘතදේහය හඳුනා ගැනීම සඳහා, ඥාතීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පසුගිය අගෝස්තු 25 වැනි දින (.25/08/2026) ඊ-මේල් පණිවිඩයක් මගින් දැනුම් දී ඇත්තේ මෙම මියගිය ඉන්දියානු ජාතිකයාගේ ඥාතීන් නොමැති බවයි. එම ඊ-මේල් පණිවිඩයද අධිකරණයට ඉදිරිපත් කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (C.I.D.) නිලධාරීන් ඉල්ලා සිටියේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

තවදුරටත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (C.I.D.) නිලධාරීන් ඉල්ලා සිටියේ, ආණ්ඩුවේ වියදමින් මෙම ඉන්දීය ජාතිකයාගේ මෘතදේහය මීගමුව පොදු සුසාන භූමියේ, මීගමුව මහා නගර සභාවේ, නගරාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මිහිදන් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එලෙසම මෘතදේහය භූමදානය කරන ස්ථානය පිළිබවඳ වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D.) සහ අධිකරණයට ලබා දෙන ලෙසට ද , මීගමුව මහා නගර සභාවේ නගරාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (C.I.D.) නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, වාණිජ අපරාධ විමර්ශන අංශ 01 හි සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක දුලිත මධුරංග, උප පොලිස් පරීක්ෂක මධුසංක, උප පොලිස් කොස්තාපල් දුලංග සහ ජයසූරිය, බණ්ඩාර, අනිල්, අසේල, හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩිදුර වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කළහ.

පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර, 100 කට අධික පිරිසක් තුවාල ලැබීය

මෙම නඩුකරයට අදාළ මීළඟ නඩු විභාගය එළඹෙන සැප්තැම්බර් 08 වැනි දින (08/09/2026) පැවැත්වීමට නියමිතය.

සටහන.-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here