වසර 68 ක් පුරා ලේඛිකාවක් මෙන්ම මාධ්‍යවේදිනියක් ලෙස මෙරට ලේඛන කලාවට සහ මාධ්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ 81 හැවිරිදි ලිලී ඇග්නස් සියඹලාපිටිය මහත්මියගේ අසීමිත කැපවීම හා නිර්මාණශීලීත්වය යළිත් වරක් ඔප්පු කරමින්, ඇයගේ සත්වන (07) කෘතිය වන “කිව්ව රහස තේරුණා” කෙටිකතා සංග්‍රහය පසුගිය 12 දා (12/09/2026) පෙරවරුවේදී දොරට වැඩුණි.
තරමක අසනීප තත්වයකින් පසුවුවද, ඇයගේ පන්හිඳ තවමත් ක්‍රියාශීලී බවට සාක්ෂි දෙමින්, මෙම කෙටිකතා සංග්‍රහය දොරට වැඩුණේ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවති විශේෂ ස්තූති යෝගික දේව මෙහෙයකට සමගාමීවය. දේව මෙහෙය පැවැත්වුණේ ඇයගේ ලේඛන කලාවට අසිරි පැතීමටත්, සහ ඇය වෙත යහපත් කායික හා මානසික සුවයත් ප්‍රාර්ථනා කරමිනි. පස් දරු මවක් වන ඇයගේ දරුවන් දෙදෙනෙකු වන චමිල් සියඹලාපිටිය සහ චානක සියඹලාපිටිය මේ වන විට මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ගුරුවරුන් ලෙස සේවය කරන අතර ඔවුන් දෙදෙනාම මීගමුව ප්‍රදේශයේ උපකාර පන්ති ගුරුවරුන් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.
සම්මානනීය ලේඛන දිවියක අභිමානවත් සන්ධිස්ථානයක්. ..
1945 මාර්තු 16 වැනිදා උපත ලැබූ ලිලී ඇග්නස් සියඹලාපිටිය මහත්මිය 1958 දී ‘පහන්තරුව’ පුවත්පතෙන් ලේඛන කලාවට පිවිසියාය. එතැන් පටන් වසර 68ක අද්විතීය ලේඛන දිවියක් තුළ කවි, කෙටිකතා, වාර්තාකරණය සහ ඡායාරූපකරණය ඔස්සේ ඇය විශිෂ්ට දක්ෂතා පෙන්වා ඇත. ‘ඥානාර්ථ ප්‍රදීපය’, ‘භක්ති ප්‍රබෝධනය’, ‘ළමා ප්‍රදීපය’, ‘උඳුවප් මිහිර’ වැනි පුවත්පත් හා සඟරාවන් සඳහා ඇය දහසකුත් නිර්මාණ ලියා ඇත.
ඇයගේ දීර්ඝ ලේඛන දිවියට හිමිව ඇති සම්මාන හා ඇගයීම් රැසකි. 1989 දීප ව්‍යාප්ත ගුවන් විදුලි නත්තල් තරගයේ කුසලතා සම්මානය, 1996 විශ්ව සහෝදරත්වය ව්‍යාපාරයේ අභීත කිතුනු ලේඛක සම්මානය, 2004 පුවත්පත්කලාවේදී කලා සම්මානය ඉන් කිහිපයකි. විශේෂයෙන්ම, කිතු අභිමන් 2 ජාතික කලා සාහිත්‍ය මහෝත්සවයේදී ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන චිරකාලීන සම්මානය හිමි වූ ප්‍රථම කාන්තාව ලෙස ද ඇය ඉතිහාසයට එක් විය. ගරු කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන්ගේ සුරතින් මෙම සම්මානය ලබා ගැනීමද විශේෂත්වයකි.
ඇය විසින් රචිත ග්‍රන්ථ අතර “කඳුහෙල් පරදා”, “සඳුට හොරෙන්”, “නොනිම් වාසනා” (කෙටිකතා), “අම්මාවරු”, “දහම් සුවඳ”, “ලකඹර සුපිමල්” (කාව්‍ය) ද වේ.
ජීවිතයේ සැඳෑ සමයේද නොනිම් කැපවීම..

ලිලී ඇග්නස් මහත්මිය ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදයේ සහ ජාතික කතෝලික ලේඛක හවුලේ ආරම්භක සාමාජිකාවක් වන අතර, කටුවාපිටිය ධර්ම සේවා සභාව, දිව්‍ය හෘදය සමිතිය, වින්සෙන්ති පාවුලා සමිතිය වැනි ආගමික හා සමාජ සේවා සංවිධාන රැසක වසර 50 කට අධික කාලයක් සක්‍රීයව දායක වී ඇත.
මේ වන විට අසනීප තත්වයෙන් පසුවුවද, ඇයගේ පන්හිඳ තවමත් ඇගේ ජීවිතය බවට පත් කරගෙන සිටින අතර, මෙම ස්තූති යෝගික දේව මෙහෙයේදී කටුවාපිටිය ,ශාන්ත සෙබස්තියන් දේවස්ථාන ධර්ම සේවා සභාවෙි ලේකම් චන්දිමාල් ප්‍රනාන්දු මහතා සහ එම ධර්ම සේවා සභාවේ සාමාජික සිසිර ප්‍රනාන්දු මහතා ද ඇය පිළිබඳව කෙටි දෙසුම් පැවැත්වුහ. ඉන අනතුරුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ගරු බර්ට්‍රම් ජයනාත් ප්‍රනාන්දු පියතුමා විසින් කටුවාපිටිය ජනතාවගේ හා එම මීසම් සංඝයේ උපහාරය සහ ගෞරවය පුදකරමින් ඇය වෙත සැමරුම් සිහිවටනයක් ප්‍රදානය කලේය. ඇයට එලෙස උපහාර පුද කළේ මෙරට ලේඛන කලාවටත්, විශේෂයෙන්ම පුවත්පත් කලාවටත්, කතෝලික මාධ්‍ය ක්ෂේත්‍රයටත් ඇය කළ අමිල සේවාව අගය කරමිනි.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ගරු බර්ට්‍රම් ජයනාත් ප්‍රනාන්දු පියතුමා සහ “භක්ති ප්‍රබෝධන” සඟරාවේ ප්‍රධාන කතෘ ගරු ජස්ටින් සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ස්තුති යෝගික දේව මෙහෙයටත්, මෙම කෙටිකතා සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවටත් මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විදුහල්පති ගරු සුනන්ද අල්විස් සහෝදර තුමන්ද, ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ සහකාර සංස්කාරක ශිරාන් මෛත්‍රී මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.
ලිලී ඇග්නස් මහත්මියගේ ලේඛන කලාව සහ මාධ්‍යකරණය පිළිබඳව එහිදී ගරු පියතුමන්ලා විසින් සහ ආරාධිතයින් විසින් කෙටි දෙසුම් පැවැත්වුහ. ඉන් අනතුරුව, ඇයගේ සුරතින්ම ඇය විසින් රචිත ඇයගේ සත්වන කෘතිය වන “කිව්ව රහස තේරුණා” කෙටි කතා සංග්‍රහයේ මුල් පිටපත් ගරු පියතුමන්ලාට, කන්‍යා සොහොයුරියන්ට සහ ආරාධිතයන්ට ප්‍රදානය කිරීමද සිදු විය.. මෙම ස්තූති යෝගික දේව මෙහෙයට සහ කෙටි කතා සංග්‍රහය දොරට වැඩුම සඳහා මීගමුව , කටුවාපිටිය සහ කටාන ආදී ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගී වූහ.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු





































