මීගමුව බන්ධනාගාරයේ පොදු දේපල වලට අනවර්ථයක් සිදු කළේ යැයි සැක කාන්තා රැඳවියන් 25 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට . …

0
88

 

පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුල සිදු වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුකරයට අදාලව තවත් එක් නඩු වාරයක් ඊයේ (17/09/2026 ) විභාගයට ගැනිණි. එහිදී මීගමුව කාන්තා බන්ධනාගාරයේ රැඳවියන් 25 දෙනෙකු පොදු දේපළවලට අනවර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන් සියලු දෙනා සැප්තැම්බර් 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙම කාන්තා සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමටත්, නඩුව අවසන් වන තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්ය. සිද්ධිය අතරතුර මියගිය සියලු පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත්, අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණය වෙත දන්වා සිටියේය. කෙසේ වෙතත්, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවා ඇති නඩු භාණ්ඩවල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද එහිදී අනාවරණය විය.

නඩු විභාගයේදී මතුවූ උණුසුම් තත්ත්වයන්

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
” ස්වාමිණී මම පෙර අවස්ථාවේදීත් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා .අපි දැක්කා දොර කවුළුවෙන් වෙඩි තියනවා. දැන් 296 වගන්තිය යටතේ පවා නඩු දාලා තියෙනවා. ඒ සම්බන්ධව මොවුන් කොහොම කටයුතු කරනවාද දන්නේ නැහැ. ඒ සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මියගිය නිලධාරීන්ට වගේම මියගිය රැඳවියන්ටත් සාධාරණයක් ඉටු විය යුතුයි,”
යනුවෙන් ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් සඳහන් කළේ ගිනි අවි 300 කට අධික ප්‍රමාණයක් භාරයට ගෙන ඇති බවත්, ඒ සම්බන්ධ වාර්තා ලැබුණු පසු අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

පුළුල් විමර්ශන සහ ඉදිරි පියවර

මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත්, ඉන් 81දෙනෙක් පිරිමි පුද්ගලයන් වන අතර 25 දෙනෙක් කාන්තාවන් බවත් නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. සැකකරුවන් 81 දෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කර තිබේ. මෙම ගැටුම මහජනතාවගේ දැඩි අවධානයට ලක් වූ විශේෂ නඩු කටයුත්තක් බැවින්, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩවල රස පරීක්ෂක වාර්තා කඩිනම් කරන ලෙස සිහි කැඳවීමක් යොමු කරන ලෙස ද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි අනෙකුත් නියෝග ද පුධාන මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරන ලද අතර, සැකකරුවන් 106 දෙනාම සැප්තැම්බර් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්-ඇප් ( WhatsApp ) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වාණිජ අපරාධ විමර්ශන අංශයේ (01) සහකාර පොලිස් අධිකාරී චන්දන කලුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මදුසංක, කාන්තා උප පොලිස් පරීක්ෂක දිලිනි ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 100 කට අධික පිරිසක් තුවාල ලැබූහ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශන සිදුකරන අතර, පොදු දේපළ පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මිනීමැරීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ඇති වූ නඩුව නැවත සැප්තැම්බර් 22 වැනි දින කැඳවීමට නියමිතය.

සටහන .-. තුෂාර රොහාන් ප්‍රනාන්දු

ඡායාරූප .-. අකිලා නදීෂානි බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here