මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ හඬට අගුළු දැමුවාද ???

0
143

 

 

මීගමුව මහා නගර සභාවේ ඊයේ , ( 08/10/2026) පෙරවරුවේ පැවැති ඔක්තෝබර් මාසයට අදාළ මහ සභා රැස්වීම උණුසුම් තත්ත්වයකට පත් විය. මෙවර න්‍යාය පත්‍රයට කල් තැබූ කිසිදු යෝජනාවක් හෝ ප්‍රශ්නයක් ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින්, සමගි ජන බලවේග කණ්ඩායමේ නාගරික මන්ත්‍රීවරුන් 08 දෙනෙකු සහ එක් ස්වාධීන නාගරික මන්ත්‍රීවරයෙකු ඊයේ පැවැති මහා සභා රැස්වීම වර්ජනය කළහ. පසුව ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් පාලක පක්ෂයේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය.

“මහජන මුදල් නාස්ති නොකරන්න”…
දිලිණි ජයකොඩි…

මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ, සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ නායිකා, දිලිණි ජයකොඩි මන්ත්‍රීවරිය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, ඔක්තෝබර් මාසයේ න්‍යාය පත්‍රය තුළ කිසිදු යෝජනාවක් හෝ ප්‍රශ්නයක් නොතිබීම පුදුම සහගත බවයි. ඇය මීට පෙර සභා වාරවලදී ඉදිරිපත් කළ ප්‍රශ්න සහ යෝජනා ලබන මස න්‍යාය පත්‍රයට ඇතුළත් කරන බවට නගර සභාවේ ලේකම්වරිය විසින් නගරාධිපතිවරයාගේ අදහස් අනුව දැනුම් දී තිබුණද, ඒවාට තාක්ෂණික දෝෂ ඇති බව පවසමින් මෙවරත් ඇතුළත් කර නොතිබීම පිළිබඳව ඇය දැඩි අප්‍රසාදය පළ කළාය.

“මහජන බදු මුදල් වලින් මහා සභා රැස්වීම් පවත්වා, කිසිදු ප්‍රශ්නයක් හෝ යෝජනාවක් නොමැති න්‍යාය පත්‍ර ඉදිරිපත් කර, විපක්ෂයේ හඬ යටපත් කර, තමන්ට අවැසි ඒකාධිපති ක්‍රමයකට මෙම සභාව හැසිරවීමට ආණ්ඩු පක්ෂය උත්සාහ දරන බව අපට හැඟී යනවා.” ඇය තවදුරටත් අවධාරණය කළේ, “මීගමුව ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අයිතිය නොදෙන්නේ නම්, මහජනතාවගේ මුදල් වැයකර මෙවැනි මහා සභා වාරයන් නොපැවැත්විය යුතු බවයි.”

“මේ දීගේ හරියන්නේ නැහැ “…
ඩිෂාන් මෙන්ඩිස්. ….

ස්වාධීන කණ්ඩායම් අංක 01 නියෝජනය කරන ඩිෂාන් මෙන්ඩිස් නාගරික මන්ත්‍රීවරයාද මාධ්‍ය හමුවේදී දැඩිව අදහස් පළ කළේය. පසුගිය වසර එකහමාරක කාලය තුළ ආණ්ඩු පක්ෂයට සහය දුන් බවත්, ඔවුන් ගෙන ආ හැම යෝජනාවකටම තමන් අත ඔසවා සහය ලබා දුන් බවත් ඔහු පැවසීය. නමුත් ඔවුන් ජනතාව ලබා දුන් වරමෙන් අයුතු ප්‍රයෝජන ගන්නා බව තමන්ට හැඟී යන බවද, කිසිදු ප්‍රතිඵලයක් නොමැති බැවින් “මේ දීගේ හරියන්නේ නැහැ” කියා තමන්ට සිතුණු බවද ඔහු සඳහන් කළේය.

“ජනතාවට හොඳ වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දීගේ කටු ගාන්න සිද්ධ වුණා. කටු ගාලා ඉවර වෙලා ජනතාව වෙනුවෙන් හඬ නගන්න තීරණය කළා.” ඩිෂාන් මෙන්ඩිස් නාගරික මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ 2026 අයවැයෙන් යෝජනා කළ කිසිවක් ලැබී නොමැති බවත්, එම අයවැය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත්ය. “27 දෙනෙක් ආණ්ඩු පක්ෂයට ජනතාව දීලා තියෙනවා, මේ 27 දෙනාම කරන ඇති දෙයක් නැහැ. නිකන් එයාලා පඹයෝ විතරයි.” යනුවෙන් ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව මෙහිදී දැඩි ලෙස විවේචනය කළේය.

පොදු විපක්ෂයක් ලෙස ජනතාව දැනුවත් කිරීම
මොහොමඩ් නුස්රි ….

සමගි ජන බලවේග පක්ෂයේ මොහොමඩ් නුස්රි විපක්ෂ නාගරික මන්ත්‍රීවරයාද රැස්වීම වර්ජනය කළ බව සඳහන් කළේය.තම කණ්ඩායම් නායිකා දිලිණි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය ඉදිරිපත් කළ යෝජනාවක් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් මත පොදු විපක්ෂයක් ලෙස මේ පිළිබඳව මීගමුවේ සමස්ත ජනතාවට පැහැදිලි කිරීමට තීරණය කළ බව ඔහු පැවසීය. “මීගමුව මහා නගර සභාවේ පසුගිය අයවැය ලේඛනය හොඳින් නිරීක්ෂණය කළහොත්, ආණ්ඩු පක්ෂයේ නියම තත්ත්වය වටහා ගත හැකියි.” ඔහු මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට දිලිණි ජයකොඩි, මොහොමඩ් නුස්රි, ඩිෂාන් මෙන්ඩිස් මන්ත්‍රීවරුන්ට අමතරව, සමගි ජන බලවේග පක්ෂයේ එම්.ඒ.එම්. අෆ්රාස් නාගරික මන්ත්‍රීවරයාද එලෙසම දිස්නා කුමාරි, මාරි පීරිස්, නිර්මලී ප්‍රනාන්දු, සඳුනි තාරකා, සහ පියුම් සුරින්දි යන නාගරික මන්ත්‍රීවරියන් ද සහභාගී වූහ. තවද සමගි ජන බලවේග පක්ෂයේ ෂෙනුකා ප්‍රනාන්දු විපක්ෂ නාගරික මන්ත්‍රීවරිය ඊයේ දින මීගමුව මහ නගර සභාවට පැමිණ නොසිටි බවද වාර්තා විය..

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here