මීගමුවේ මහජන දේපල සහ මුදල් වංචා වලට එරෙහිව සජබත් නිහඬයි ?

0
112

​මීගමුව මහ නගර සභා සීමාව තුළ සිදුවූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අක්‍රමිකතා, මහජන දේපල අවභාවිතය සහ පවුල් පාලනයේ දූෂණ ක්‍රියා හමුවේ සමගි ජන බලවේගය (සජබ) ප්‍රමුඛ විපක්ෂය මෙන්ම අදාළ බලධාරීන් අනුගමනය කරන මාරන්තික නිහඬතාවය සම්බන්ධයෙන් මීගමුවේ ප්‍රගතිශීලී ජනතාව සහ සිවිල් සංවිධාන දැඩි අප්‍රසාදය පළ කරති.

​ජාතික මට්ටමින් මහජන දේපල හා මුදල් වංචා කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන වර්තමාන පසුබිමක, මීගමුවේ සිදුවූ බව කියන දැවැන්ත මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් නිසි පරීක්ෂණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැටලුසහගත බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම, මීගමුව මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරුන් සතුව මෙම දූෂිතයන්ට එරෙහිව නීතිය හමුවට යාමට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ පරිචය මදිපාඩුවක් වී ඇති බවට ද ජනතාව චෝදනා නඟති.

​කෙසේ වෙතත්, ඊටත් වඩා බරපතළ ගැටළුව වී ඇත්තේ ප්‍රධාන විපක්ෂය වන සජබ දේශපාලන ක්‍රියාකාරින් මෙන්ම  මීගමුව සංවිධායකවරයාද ලංසා   පවුලට එරෙහිව කිසිදු අවස්ථාවක පෙරමුණ ගෙන කටයුතු නොකිරීමයි.

ආණ්ඩු පක්ෂය මෙන්ම සජබ ද දේශපාලන වශයෙන් “කාසය බීපු ගොළුවන්” මෙන් මුනිවත රකිමින් සිටින බවට ප්‍රදේශයේ ජනතාව ප්‍රසිද්ධියේ චෝදනා කරති.

​පහත දැක්වෙන බරපතළ කරුණු සම්බන්ධයෙන් මීගමුවේ සජබ මන්ත්‍රීවරුන් සහ වගකිවයුතු පාර්ශ්ව දැඩි නිහඬතාවයක් රකිමින් සිටියි:

  • ​කාමච්චෝඩේ පොළ සංකීර්ණය: රුපියල් ලක්ෂ 1600ක් (මිලියන 160ක්) වැය කර විනාශ කර දැමීම.
  • ​කොච්චිකඩේ කසල කළමනාකරණ ගොඩනැගිල්ල: වර්තමානයේ පවතින විනාශකාරී තත්ත්වය.
  • ​හිටපු නගරාධිපතිවරයාගේ උපකරණ: රුපියල් ලක්ෂ 25ක් වැය කර ලබාගත් කැමරාව සහ පරිගණකවලට සිදුවූ දේ.
  • ​මීගමුව වෙරළ උද්‍යානය (Beach Park): එය තවදුරටත් නිශ්චිත පවුලකට ආදායම් ගෙන දෙන තැනක් ලෙස පවත්වාගෙන යෑම.
  • ​කාමච්චෝඩේ ක්‍රීඩාපිටිය සහ මාතෘ සායනය: ඒවායේ වර්තමාන අභාවයට ගිය තත්ත්වය සහ පවුල් දේපලක් ලෙස හැසිරීම.
  • ​තැබෑරුම්වත්ත: රුපියල් කෝටි ගණන් වැය කර විනාශ මුඛයට ඇද දමමින් සිදුකළ විනාශය.
  • ​සුපිරි නිවාස ජාලය: කිසිදු නිත්‍ය රැකියාවක් නොකළ මීගමුවේ ප්‍රධාන දේශපාලකයන් රුපියල් කෝටි ගණන් වැය කරමින් සුපිරි නිවාස ඉදිකළේ කෙසේද යන්න.
  • ​බට් වාහන ජාවාරම: මේ හා සම්බන්ධ අනාවරණය නොකළ ජාවාරම්.

​මීගමුවේ බදු ගෙවන අහිංසක ජනතාවට යුක්තිය ඉටු කිරීමට සජබ දේශපාලනය සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන්, ලංසා පවුලේ දේශපාලන බලපෑම් හමුවේ විපක්ෂය කොඳු නමාගෙන සිටින බවට දැඩි ලෙස දෝෂාරෝපණය කරයි. මහජන මුදල් කාබාසිනියා කළ මෙම පවුල් පාලනයට සහ දූෂිතයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මීගමුවේ බහුතර ජනතාව මේ වන විට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here