ජංගම දුරකතනයෙන් ඔබ්බට …. සැබෑ ළමා ලෝකය සොයා ගිය, මීගමුවේ ලෝක ළමා දින සැමරුම. ….

0
60

.

සෑම වසරකම ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිති කරගෙන, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් වැඩසටහන ඊයේ දින (2026/10/14) පෙරවරුවේ මීගමුවු රුක්මණී දේවි රංග ශාලාවේදී මහත් හරසරින් පැවැත්විණි. “මනසින් සවිමත් දරුවන් පොහොසත්” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන, දරුවන්ගේ සුරක්ෂිතතාවය, යහපත් මානසිකත්වය සහ නවීන තාක්ෂණයෙන් ඇතිවිය හැකි අභියෝග පිළිබඳව වැදගත් සහ ප්‍රමුඛ සංවාදයක් ඇති කළ ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් විය.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් ලියාපදිංචි පෙර පාසල් දරුවන් 200ක් පමණ මෙම වැඩසටහනට සහභාගි වූහ. එලෙසම මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට සිටි මීගමුව භාර ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතාට නොවැළැක්විය හැකි හේතුවක් නිසා සහභාගි වීමට නොහැකි වූ අතර, ඒ වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් පුලස්ති ද සිල්වා මහතා සහභාගි විය.

ළමා හිංසනයට එරෙහි හඬක් සහ ළමා පරපුරට එල්ල වූ නවීන අභියෝග…..

මෙම වැඩසටහනේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීන් සහ නිලධාරිනියන් කිහිප දෙනෙකු විසින් ළමා හිංසනය පිටුදැකීම, ළමා සුරක්ෂිතතාව සහ යහපත් දෙමාපිය දූ දරු සබඳතාවයන් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ කෙටි නාට්‍යයක් රඟ දැක්වීය.

ඉන් අනතුරුව වැඩසටහන ආමන්ත්‍රණය කළ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, කලානුරූපීව ඉතාම වැදගත් හා කතිකාවකට ලක්විය යුතු මූලික ගැටලුවක් වෙත වැඩසටහන රැගෙන ගියාය. එනම්, මෑත කාලයේ දක්නට ලැබෙන දරුවන් ස්මාර්ට් ජංගම දුරකථන වලට ඇබ්බැහි වීමෙන් සිදු වන හානිය සහ අගතිය පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් වී දරුවන්ගේ මනසේ ස්වභාවය නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කිරීමේ ඇති වැදගත්කමයි. මෙම දැනුවත් කිරීමේ දේශන සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියට අමතරව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා කටයුතු පිළිබඳ සංවර්ධන නිලධාරිනී ඒ.කේ.අයි. මංජරී මහත්මිය ද සම්බන්ධ වූවාය. මංජරී මහත්මිය ද වැඩසටහනට පැමිණ සිටි දරුවන් මෙන්ම දෙමාපියන් ඇතුළු සියලු වැඩිහිටි පිරිස ආමන්ත්‍රණය කළාය.

මෙම දේශන වලට සමගාමීව, වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කළ අතර, එමඟින් ද දරුවන් ස්මාර්ට් ජංගම දුරකථන වලට ඇබ්බැහි වීමෙන් සිදු වන හානිය සහ අගතිය ගැන ද විශේෂයෙන්ම ඒ තුළ පැන නැගිය හැකි ,දැඩි සමාජ ගැටළුවක් පිළිබඳවද එ⁣මෙන්ම එවැනි තත්ත්වයකදී දරුවන්ගේ මනසේ ස්වභාවය නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද දැනුවත් කළහ.

ළමා මනස සහ ස්මාර්ට් ජංගම දුරකථන. ..

වර්තමාන සමාජය තුළ, “ළමා අවදිය” ලෙස හැඳින්විය හැකි තත්ත්වයක් තුළ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ස්මාර්ට් ජංගම දුරකථනවල අධික භාවිතය බරපතල බලපෑමක් එල්ල කර ඇති බව මෙම වැඩසටහන මගින් මනාව ඉස්මතු කෙරිණි. ළමා මනස ඉතා සංවේදී හා පහසුවෙන් හැඩගැසිය හැකි එකක් වන අතර, ස්මාර්ට් ජංගම දුරකථන වලට ඇබ්බැහි වීමෙන් දරුවන්ගේ සමාජ අන්තර්ක්‍රියා, නිර්මාණශීලීත්වය, අවධානය යොමු කිරීමේ හැකියාව සහ චිත්තවේගීය වර්ධනයට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකිය. ජංගම දුරකථන තිරය ඉදිරියේ වැඩි වේලාවක් ගත කිරීමෙන් ඔවුන්ට ක්‍රීඩා පිටියේ හෝ සොබාදහමේ අත්දැකීම් අහිමි වන අතර, එය ඔවුන්ගේ සමස්ත පෞරුෂ වර්ධනයට අහිතකර බලපෑමක් ඇති කරයි. දෙමාපියන් ලෙස සහ වැඩිහිටියන් ලෙස අප මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු අතර, දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය සඳහා ලබා දීමේදී නිසි මාර්ගෝපදේශනයක් සහිතව ලබා දීම අත්‍යවශ්‍ය බවට වු පණිවිඩය මෙම වැඩසටහන තුළින් සෘජුවම මෙම වැඩසටහනට සපැමිණව සිටි දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට සන්නිවේදනය කෙරිණි.

සතුට හා දැනුවත් කිරීම, එකට…..

වැඩසටහනට සහභාගි වූ කුඩා දරුවන්ට සතුට සහ සොම්නස ඇති කිරීමට ලෝ ප්‍රකට ගාෆීල්ඩ් (Garfield) යන සුරතල් නාමයෙන් හඳුන්වන කහ වර්ණයෙන් සැරසුණු මනඃකල්පිත බළල් චරිතයට සමානව, අයෙකු විශේෂිතව ඒ ආකාරයෙන් සැරසී රංගනයේ සහ නර්තනයේ යෙදුනු අයුරු දැක ගත හැකි විය. මීගමුව රුක්මණී දේවි රංග ශාලාවේ පැවති මෙම ලෝක ළමා දින සැමරුම් වැඩසටහන සඳහා කුඩා දරුවන් විසින් ඉදිරිපත් කළ ගායනාංග සහ නර්තනාංග වැඩසටහන වඩාත් විචිත්‍රවත් කළහ. වැඩසටහන අවසානයේ සහභාගී වූ සියලුම දරුවන්ට ත්‍යාග පිරිනැමීම ද ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම වැඩසටහනේ දරුවන්ට ලබා දුන් ත්‍යාග සඳහාද එලෙසම සියලුම සංග්‍රහ කටයුතු සඳහා ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ විශේෂිත මූල්‍ය අනුග්‍රහයක් ලැබී තිබිණි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු එම කාර්යමණ්ඩලයේ ආරාධනාවෙන් තවත් ආරාධිතයින් පිරිසක් සහ දෙමාපියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම ලෝක ළමා දින සැමරුම් වැඩසටහනට සහභාගි වූහ. එලෙසම මෙම වැඩසටහන, දරුවන්ගේ අනාගතය යහපත් දිශානතියකට යොමු කිරීම සඳහා සමස්ත සමාජයේම වගකීමක් ඇති බව මනාව අවධාරණය කළ වැදගත් අවස්ථාවක් ද ලෙසද සැලකිය හැක.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here