55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..

0
77

.

මීගමුව පුරවරයේ කීර්ති නාමය ශ්‍රී ලංකීක පාසල් මළල ක්‍රීඩා පිටිය තුළ යළිත් වරක් අභිමානවත්ව සනිටුහන් කරමින්, පසුගිය 04 වැනිදා සිට 07 වැනිදා දක්වා (2026/11/04 – 07) ,හෝමාගම දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති 55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත බාලක ශූරතාවය දිනා ගැනීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.
දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට අති දක්ෂ ක්‍රීඩකයන් රැසක් දායාද කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මෙවර මෙම ජයග්‍රහණය තමන් සතු කර ගත්තේ ඔවුන් සතු ප්‍රබලතම මළල ක්‍රීඩා කෞශල්‍යය සහ දක්ෂතාවය යළිත් වරක් මුළු රටටම පසක් කරමිණි. ඒ අනුව 2024, 2025 සහ 2026 යන වසර 03 නේදීම මෙම කිරුළ අඛන්ඩවම තමන් සතු කර ගැනීමට ඔවුන් සමත්වීම සැබවින්ම අනගිභවණීයවු ජයග්‍රහණයකි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මීට පෙරාතුවද එනම් 2010 වසරේ සිට 2014 වසර දක්වා වු වසර 05 ක කාලය තුල ද මෙම ක්‍රීඩා තරඟාවලියේ සමස්ත බාලක ශූරතාවය අඛන්ඩව ජයග්‍රහණය කර තිබිමද විශේෂත්වයකි.

ජයග්‍රහණ රැසක් මැද දිදුලන තරු . ….

මෙම ක්‍රීඩා තරඟාවලියේ 13 න් පහල බාලක අනුශූරතාවය ද , 15 න් පහල බාලක ශූරතාවය ද මීගමුව ,මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ක්‍රීඩකයින් විසින් හිමි කර ගෙන ඇති අතර මාරිස් ස්ටෙල්ලා දරුවන්ගේ දක්ෂතා මෙවර තරගාවලියේදී වඩාත් කැපී පෙනුණි. වයස අවුරුදු 15න් පහළ මීටර් 200 ඉසව්වේ රන් පදක්කම රකිත තේනුක විසින් දිනා ගත් අතර, එම වයස් කාණ්ඩයේම මීටර් 400 ඉසව්ව තත්පර 51.12ක දක්ෂතාවයකින් අවසන් කළ රකිත තේනුක රන් පදක්කම දිනා ගත්තේය. මීට අමතරව 15න් පහළ මීටර් 80 කඩුලු මතින් දිවීමේ ඉසව්වේදී මනුක මල්ෂාන් සිය විශිෂ්ඪ දක්ෂතාවය පෙන්නුම් කරමින් රන් පදක්කම තමන් සතු කර ගත්තේය. ඒවගේම වයස අවුරුදු 13න් පහළ උස පැනීම දෙවන ස්ථානය හිමිකර ගැනීමට සංකේත් සත්සර ක්‍රීඩකයා සමත් වූ අතරම එම වයස් කාණ්ඩයේම දුර පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට තනුජිත වීරසේකර ක්‍රීඩකයාට හැකි විය.

මීට සමගාමීව වයස අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය ද මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ එම ක්‍රීඩකයින් විසින් හිමි කර ගන්නා ලදී..

සාර්ථකත්වයේ රහස, නායකත්වය සහ සහයෝගය. ….

මෙම අභිමානවත් ගමන පිටුපස ඇත්තේ දැවැන්ත කැපවීමකි. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ විදුහල්පති ගරු සුනන්ද අල්විස් සහෝදරතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබරව පවත්වාගෙන යාමට විද්‍යාලයේ සිසු දරුවන් හට ලබාදෙන නායකත්වය සහ සහයෝගය මෙහිදී අගය කළ යුතුය.

ජයග්‍රහණයේ පදනම ,කැපවීම, පුහුණුව සහ මඟපෙන්වීම . …..

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස සිටිනා දැවැන්ත නියමුවන් වන විද්‍යාලීය ක්‍රීඩා භාර ආචාර්යවරයා සහ මළල ක්‍රීඩා පුහුණු කරුවන්ගේ කාර්යභාරය අතිමහත්ය. විද්‍යාලීය මළල ක්‍රීඩකයන්ව ශූරයන් බවට පත් කිරීමට විද්‍යාලීය ක්‍රීඩා භාර ආචාර්යවරයා ඇතුළු පුහුණුකරුවන් විසින් ලබා දී ඇත්තේ විශාල දායකත්වයකි. අව්වැසි නොතකා ක්‍රීඩකයන්ව පුහුණු කළ විද්‍යාලීය ක්‍රීඩා භාර ආචාර්යවරයා වන සුසාන් තමෙල් මහතා ඇතුළු මළල ක්‍රීඩා පුහුණුකරුවන් වන පිලිප් රංජිත්, ලලිත් සිල්වා, අජිත් ප්‍රියන්ත, කුමාර හේරත්, සනත් ගුණරත්න, සෙනේශ් චානුක සහ සදීශ ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ලබා දුන් නිවැරදි තාක්ෂණික මගපෙන්වීම් සහ මානසික උත්තේජනයත් , අසමසම කාර්යභාරයත් මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා විශාල පිටිවහලක් වී තිබිණි .

නවක මළල ක්‍රීඩා තරු රටට දායාද වන කේන්ද්‍රස්ථානයක් . …..

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය යනු හුදෙක් ජයග්‍රහණ හඹා යන පාසලක් පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ අනාගත මළල ක්‍රීඩා ක්ෂේත්‍රය ආලෝකමත් කරන නවක මළල ක්‍රීඩා තරු බිහිකරන මෙරට ප්‍රකට ආදර්ශමත් පාසලක් ලෙසද හැඳින්වීය හැකිය. ඒ අනුව ක්‍රීඩකයන්ගේ පෞරුෂය, දක්ෂතාවය සහ අභියෝග හමුවේ නොසැලෙන ධෛර්යය මනාව ඔප්නැංවීමට මෙම විද්‍යාලය දක්වා ඇති කැපවීම, මෙම ජයග්‍රහණය පිටුපස ඇති ප්‍රධානතම සාධකය වේ. එම දක්ෂතාවයන් තුළින් ඉදිරි කාලයේදී මෙරටින් ජාත්‍යන්තරය නියෝජනය කරන ක්‍රීඩකයන් රැසක් බිහිවනවාට කිසිදු සැකයක් නොමැත.

මීගමුව පුරවරයට කීර්තියක් සහ අභිමානයක් වූ මාරිස් ස්ටෙල්ලා ව . …..

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලද මෙම සුවිශේෂී ජයග්‍රහණය හුදෙක් පාසලට පමණක් සීමා වූවක් නොව, එය සමස්ත මීගමුව පුරවරයටම හිමි වූ මහත් අභිමානයකි. මීගමුව පුරවරයේ කීර්තිය සහ ගෞරවය ජාතික මට්ටමින් ඉහළට ඔසවා තැබීමට මාරිස් ස්ටෙල්ලා දරුවන් දැක්වූ මෙම දක්ෂතාවය, ප්‍රදේශයේ ක්‍රීඩාවට ආදරය කරන සැමගේ හදවත්වලට ගෙන ආවේ මහත් වු ආඩම්බරයකි . මෙම ජයග්‍රහණයත් සමඟින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සිය ක්‍රීඩා ඉතිහාසයට තවත් රන් අකුරින් ලියැවෙන පරිච්ඡේදයක් එක් කර ගනිමින්, මීගමුව පුරවරයේ නාමය ලොවටම රැගෙන යෑමට සූදානමින් සිටින බව නොඅනුමානය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here