මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !

0
9

 

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මීගමුව බීච් පාර්ක් හෙවත්, මීගමුව , ඒත්තුකාල වෙරළ උද්‍යාන පරිශ්‍රයේ ඉඩම් කොටස් වල අයිතිය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගනිමින්, පසුගිය නොවැම්බර් 10 වැනිදා (10/11/2026) පැවැති මීගමුව මහා නගර සභාවේ, මාසික මහා සභා රැස්වීමේදී විශේෂිත යෝජනාවක් සම්මත විය. නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාසික මහා රැස්වීමේදී, මීගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් නීතිඥ ෆසීර් මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සභා සම්මත වූ බව නිවේදනය කෙරිණි.

බීච් පාර්ක් හී ඉඩම් කොටස් නගර සභාවට පවරා ගැනීමේ පියවර. …

වෙරළ උද්‍යාන පරිශ්‍රයේ ස්ථාපිත වැසිකිලි පද්ධතිය සහ “බෝට් රෙස්ටුරන්ට්” (Boat Restaurant) නැමැති ආපන ශාලාව පිහිටි භූමිය, රජයේ ඉඩම් කොටස් වේ. එම ඉඩම් කොටස් , නීත්‍යානුකූලව, මීගමුව මහා නගර සභාව සතු කර ගැනීම සඳහා පනතක් හරහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් සථාපිත කරන ලෙසට මීගමුව ප්‍රාදේශීය ලේකම්වරිය වෙත යොමු කිරීමට මෙම කල් දී ඇති යෝජනාව මගින් යෝජනා විය. එසේම, ඉඩම් පවරා ගැනීමෙන් පසු එහි අයිතිය නගර සභාව වෙත ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන ලෙසද ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ඉල්ලා සිටීම යන කරුණුද මෙම යෝජනාවට ඇතුලත්ය.

සභා ගර්භයේ පක්ෂ විපක්ෂ බේදයකින් තොර එකඟතාවය

මෙම යෝජනාව පිළිබඳව සභාවේ පැවැති ඡන්ද විමසුමේදී එයට පක්ෂව ඡන්ද 40ක් ලැබිණි. වඩාත් කැපී පෙනෙන කරුණ වූයේ, ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම්වල කිසිදු නාගරික මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක මෙම යෝජනාවට එරෙහිව (විපක්ෂව) ඡන්දය ප්‍රකාශ නොකිරීමයි. එලෙසම ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් හෝ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් හෝ සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවන්වලදී පවා මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂව අදහස් පල නොකිරීමද විශේෂත්වයකි. සභා රැස්වීම පැවැති අවස්ථාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සභා ගර්භයේ නොසිටි අතර, තවත් මන්ත්‍රීවරුන් 03 දෙනෙකු එදින රැස්වීමට සහභාගී වී නොසිටියද, සභාවේ සිටි සියලුම මන්ත්‍රීවරුන් මෙම තීරණයට සිය පූර්ණ සහය ලබා දුන්හ.

මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමේ ආරම්භය

මීගමුව වෙරළ උද්‍යානය සතු ඉඩම් කොටස්වල අයිතිය සහ ඉන් ලැබෙන ආදායම කඩිනමින් මීගමුව මහා නගර සභාවට නැවත ලබාගත යුතු බවට මොහොමඩ් ෆසීර් මහතා නගර සභා මැතිවරණයට පෙර සිටම විවෘතව අදහස් පළ කළ අයෙකි. විශේෂයෙන්ම මැතිවරණයට පෙර පැවැති මීගමුව සංවර්ධන කමිටු රැස්වීම්වලදීද ඔහු මේ පිළිබඳව දැඩිව අවධාරණය කළේය.

මීගමුව මහා නගර සභාවේ බලය ලබා ගැනීමට පෙර, ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් මීගමුව ජනතාවට ලබා දුන් ප්‍රධානතම පොරොන්දුවක් වූයේ, මහා නගර සභාවේ බලය ලැබුණු වහාම බීච් පාර්ක් ඉඩම් කොටස් සහ එහි ආදායම නැවත නගර සභාවට ලබා ගැනීමට කටයුතු කරන බවයි. ඒ අනුව, වර්තමාන නගර සභා පාලනය තම පොරොන්දුව ඉටු කිරීමේ පළමු පියවර ලෙස මෙම යෝජනාව සභා සම්මත කර ගැනීම ද විශේෂිත සිදුවීමක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here