ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින, ජර්මන් ජාතික කාන්තාවක් මීගමුව ඒත්තුකාල සංචාරක කලාපය ප්‍රදේශයේදී ඊයේ දින (17/11/2026 ) සවස 7.30 ට පමන සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා, මේ වන විට මීගමුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වුණි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ජර්මනියේ පදිංචි 59 හැවිරිදි “ලැම්බට් ඇන් කැත්රින්” (Lambert Anne Kathrin) මහත්මියයි. ඇය සංචාරක වීසා මත මෙරටට පැමිණ , මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිටි අතර, අනතුර සිදුවන අවස්ථාවේදී මීගමුව, ලුවිස් පෙදෙසේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත.
ඊයේ දින එනම් 17 වැනි දා පස්වරු 7.30 ට පමණ සංචාරක කලාපයෙේ ,මීගමුව, පෝරුතොට පාරේ ඩොල්ෆින් හංදිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබේ. මීගමුව – පෝරුතොට මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක්, ඩොල්ෆින් හංදියෙන් දකුණට හරවා පෙරියමුල්ල දෙසට ධාවනය කරමින් සිටියදී, මාර්ගයේ දකුණු පස සිට අනෙක් පසට, පාර හරහා මාරු වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම ජර්මානු ජාතික කාන්තාව මෙම වෑන් රථයේ ගැටී, මෙලෙස අනතුරට ලක් වී ඇති බව එම ප්‍රදේශවාසී ව්‍යාපාරිකයන් පිරිසක් පවසති.
අනතුරින් තුවාල ලැබූ එම කාන්තාව පසුව මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වන විට එම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද වාර්තා වුණි.

වෑන් රථ රියදුරු අත්අඩංගුවට. …..
අනතුරට හේතුවූ එම වෑන් රථය සහ එහි රියදුරු මීගමුව පොලිස් රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වු අතර අත්අඩංගුවට ගත් රියදුරු බණ්ඩාරවෙල, ඌව පනංගම ප්‍රදේශයේ පදිංචි නුවන් ප්‍රසන්න නැමැති අයෙක් බවද ආරංචි මාර්ග පවසති.
ඒ අනුව පොලස් අත්අඩංගුවට පත් මෙම රියදුරුව අද දින (18/11/2026) මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද වාර්තා විය..
ඩොල්පින් හංදියේ අනතුරු අවදානම
මීගමුව සංචාරක කලාපයේ, ඉහල සංචාරක ආකර්ෂණයක් සහිත ඩොල්පින් හංදිය ආශ්රිත ප්‍රදේශයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් දේශීය හා විදේශීය සංචාරකයන් අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.
ප්‍රධාන ගැටළුව ලෙස ඔවුන් හඳුනාගෙන ඇත්තේ රාත්‍රී කාලයේ ප්‍රදේශය ආලෝකමත් කිරීමට ප්‍රමාණවත් වීදි ලාම්පු නොමැති වීමයි. පවතින අඳුරු ස්වභාවය නිසා මාර්ගයේ ඇති සුදු ඉරි (zebra crossing) පවා රාත්‍රී කාලයට පැහැදිලිව නොපෙනීම, මෙම ප්‍රදේශයේ රිය අනතුරු වැඩි වශයෙන් සිදුවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව මැසිවිලි නගමින් පවසන්නේ, විශේෂයෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රාත්‍රී කාලයේ පොලිස් ආරක්ෂාව ලබාදීමට වගකිවයුතු බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බවයි. ඊයේ දින සිදුවූ මෙම අනතුරේදී පවා, අනතුරට ලක්වූ ජර්මන් ජාතික කාන්තාව රෝහල්ගත කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම සහ රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම තුළින් ප්‍රදේශයේ පවතින අභියෝගාත්මක තත්ත්වය මනාව පැහැදිලි වන බව ඔවුහු පවසති.
එළඹෙන උත්සව සමයේදී සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. …
එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමය තුළ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යනු ඇති බැවින්, විශේෂයෙන්ම එම උත්සව සමයේදී මීගමුව සංචාරක කලාපයට පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වගකිවයුතු බලධාරීන් සහ නිලධාරීන් කඩිනමින් මැදිහත් සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවට ප්‍රදේශවාසීහු අවධාරණය කර සිටිති. විශේෂයෙන්ම උත්සව සමයේදී , මීගමුව සංචාරක කලාපයේ හෝටල් සහ මාර්ග පද්ධතිය විදුලි බුබුළු වලින් ආලෝකමත් කර සැරසීමට සමගාමීව සංචාරක කලාපයට පැමිණෙන දේශීය මෙන්ම විදේශික සංචාරකයන්ගේ ආරක්ෂාවද වගකිව යුතු බලධාරීන් විසින් තහවුරු කළ යුතු බව බොහෝ ව්‍යාපාරිකයින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස වී තිබේ.



















