කොච්චිකඩේ නගරයේ එකම පොදු වැසිකිළි පද්ධතිය නිසි නඩත්තුවක් නොමැතිව අතහැර දමයි ???

0
12

 

නගරයට යනෙන ජනතාවගේ සනීපාරක්ෂක අර්බුදයට විසඳුමක් නැද්ද ???

මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයට අයත්, කොච්චිකඩේ නගරයේ පිහිටි එකම පොදු වැසිකිළි පද්ධතිය මේ වන විට කිසිදු නඩත්තුවක් නොමැතිව, භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබීම බරපතල ගැටලුවක් වී ඇත. මිලියන ගණනක් වැය කර 2013 වසරේ ඉදිකරන ලද මෙම වැසිකිළි පද්ධතිය වසර 13 ක් වැනි කෙටි කලකින් මෙසේ අබලන් වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිසි නඩත්තුවක් නොමැති වීම බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

මෙම වැසිකිළි පද්ධතියේ වැසිකිළි පෝච්චි , කොමඩ් සහ සින්ක් කැඩී බිඳී ඇති අතර, ජල සැපයීම සඳහා තිබූ කරාම පවා සොරුන් විසින් ගලවා ගෙන ගොස් තිබේ. එපමණක් නොව, සෑහෙන කාලයක සිට ජල සැපයුමද මුළුමනින්ම ක්‍රියාත්මක නොවන තත්ත්වයක් වාර්තා වේ. එලෙසම මෙම පොදු වැසිකිලි පද්ධතිය ඇති එලිමහන් ප්‍රදේශයේ ඉතා ඝනව අනවශ්‍ය ගස් පඳුරු, සහ වැල් වර්ග වැවී ඇති අකරයද දැක ගත හැකිය. තවද කොළඹ – පුත්තලම මහා මාර්ගය ආසන්නයේ පිහිටා ඇති මෙම වැසිකිළි පද්ධතිය, මීගමුව මහා නගර සභාවේ උප කාර්යාලය, මධ්‍යම පොදු වෙළඳසැල් සංකීර්ණය සහ පොදු මාළු වෙළඳ සැලට යාබදව පිහිටා ඇත. දිනපතා උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා කොච්චිකඩේ නගරයට පැමිණෙන දහස් ගණනක් ජනතාවට, විශේෂයෙන් දුර ගමන් යන මගීන්ට, ඉරිදා පොළට පැමිණෙන වෙළඳුන්ට, පොදු වෙළඳපොලේ වෙළඳුන්ට සහ ත්‍රී රෝද රථ හිමියන්ට සිය සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීමට පිරිසිදු හා ජලය සහිත ස්ථානයක් නොමැති වීම විශාල අඩුපාඩුවකි.

කොච්චිකඩේ නගරවාසීන් වන රන්සිරි ප්‍රේම් කුමාර මහතා සහ පසිඳු තිලින්ද මහතා පවසන්නේ, මෙම වැසිකිළි පද්ධතිය නිසි ලෙස නඩත්තු කර, ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන්නේ නම්, එයින් මීගමුව මහා නගර සභාවට යම් ආදායමක් පවා උපයා ගත හැකි බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ තෝප්පුව මංසන්ධියේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන වැසිකිළි පද්ධතිය මගින් යහපත් සේවාවක් සලසන අතර, එය නඩත්තුවට අවශ්‍ය වියදම්ද අය කර ගන්නා මුදලින් පියවා ගන්නා බවයි. එමෙන්ම, මෙම කාර්යය නගර සභාවේ සනීපාරක්ෂක සේවකයන් යොදවා කළ නොහැකි නම්, සුදුසුකම් ඇති ව්‍යාපාරිකයෙකුට හෝ පුද්ගලයෙකුට බදු පදනම මත ලබා දී ආදායමක් උපයා ගත හැකි බවද ඔවුන් අවධාරණය කරයි.

මෙම වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කරන ලෙස මීගමුව හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාට සහ නාගරික මන්ත්‍රීවරුන්ට කිහිප වතාවක්ම ඉල්ලීම් කළද මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ප්‍රදේශවාසීන් පවසති. නිසි ජල සැපයුමක් නොමැති වීම, වැසිකිළි පෝච්චි, කොසඩි සහ සින්ක් කැඩී බිඳී තිබීම සහ ජල කරාම වැනි උපකරණ සොරුන් විසින් ගලවාගෙන යාම නිසා, හදිසියේ අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණෙන බොහෝ දෙනා අවට පරිශ්‍රයේම මුත්‍රා කිරීම හා මලපහ කිරීම හේතුවෙන් දැඩි දුර්ඝන්ධයක් හා මැසි මදුරු උවදුරක් මතුව ඇති බවද වාර්තා වේ. එලෙසම මෙම පරිශ්‍රයේ බොහෝ දින වල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ මත් ලෝලී පිරිස් සැරිසරන බවත්, ඔවුන් නිදහසේ මෙම ස්ථානයේ සිට විවිධ වූ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් නගරවාසීහු පවසති..

එබැවින්, හැකි ඉක්මනින් මෙම පොදු වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කර, සියලු අඩුපාඩුකම් සම්පූර්ණ කර, මේ සඳහා නිසි ජල සැපයුමක්ද ලබා දී , පිරිසිදු සනීපාරක්ෂක පහසුකම් සහිතව නිසි ක්‍රමවෙිදයකට අනුව නැවත ජනතාවට ලබා දෙන ලෙස කොච්චිකඩේ නගරවාසීන් අදාළ වගකිවයුතු බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව ඉක්මනින්ම නිලධාරීන්ගේ හා අදාළ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු වේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here