ඩිජිටල් යුගයේ සාන්තුවරයාණෝ “කා(ර්)ලෝ අකුටිස් ” මුණි චරිතාපදාන ප්‍රාසාංගික නාට්‍ය දැක්ම, ආවේ මරියා විද්‍යාලීය වේදිකාවේ . ….

0
241

මෙරට ජනප්‍රිය මෙන්ම කීර්තිමත් කතෝලික බාලිකා පාසලක් වන මීගමුව “ආවේ මරියා බාලිකා විද්‍යාලය” අභිමානවත් 150 වැනි ජුබිලි සංවත්සරය මේ වසරෙදී සමරනු ලබයි. මෙම වසර 150 සපිරීමේ අභිමානවත් මහෝත්සවය වෙනුවෙන් එම විද්‍යාලය විසින් සංවිධානය කර ඇති වැඩසටහන් මාලාවේ සුවිශේෂී අංගයක් ලෙස “ශුද්ධවන්ත යෞවනයක්” නම් වූ වේදිකා නාට්‍යයක් පසුගිය 18 වැනි සිකුරාදා දින සවස සාර්ථකව වේදිකා ගත කෙරිණි. විද්‍යාලයේ විදුහල්පතිනි ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරියගේ සංකල්පනාවක් මත බිහි වූ මෙම වේදිකා නාට්‍යය, ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත් වී වයස අවුරුදු 15 දී ලියුකේමියා රෝගයෙන් මියගොස් පසුව කතෝලික සභාව විසින් ශුද්ධවරයට එසවූ ශුද්ධවන්ත කා(ර්)ලෝ අකුටිස් මුනිතුමාගේ ආශ්චර්යමත් චරිතාපදානය පදනම් කරගෙන නිර්මාණය වී තිබේ.

පසුගිය 18 වැනි සෙනසුරාදා දින ,මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී වේදිකා ගත වූ මෙම වේදිකා නාට්‍ය දැක්ම සඳහා මීගමුව ශාන්ත පීතර දේවස්ථානයේ මීසම් පාලක ගරු ජයන්ත වික්‍රමසිංහ පියතුමා ඇතුළු පියතුමන්ලා කිහිප දෙනෙකුම සහභාගී වූ අතර යහපත් එඬේරා නිකායේ ප්‍රාදේශීය ක්ෂේත්‍ර තුමිය වන ගරු රොෂාන්ති රන්වත්ත කන්‍යා සොහොයුරිය ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට එක් වූවාය.

මෙම වේදිකා නාට්‍යය ආවේ මරියා බාලිකා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ප්‍රධාන ආචාර්යවරයා වන, කෘතහස්ත වේදිකා නාට්‍ය නිර්මාපකයෙකු වන නෙල්සන් කන්නන්ගර මහතාගේ නිර්මාණ වෑයමකි. නාට්‍ය අධ්‍යක්ෂණය, පිටපත, වේදිකා පරිපාලනය ඇතුළු බොහෝ කාර්යයන් සිදු කර ඇත්තේ ඔහු විසින් වීම විශේෂත්වයකි. ආවේ මරියා බාලිකා විද්‍යාලයේ සිසු දැරියන් 150 කගේ පමණ රංගන දායකත්වයෙන් හැඩ ගැන්වී තිබූ මෙම නාට්‍යයේ, ශුද්ධවන්ත කා(ර්)ලෝ අකුටිස් මුනිතුමාගේ යොවුන් විය සඳහා රංගනයේ යෙදෙන විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක වන රූත් සෝසා මෙනවිය හැර සෙසු සියලු චරිත සඳහා විශේෂයෙන්ම පිරිමි චරිත වලට පවා රංගනයෙන් දායක වී ඇත්තේ විද්‍යාලීය සිසු දැරියන් වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

නාට්‍යයේ සංගීත නිර්මාණය අධ්‍යක්ෂ නෙල්සන් කන්නන්ගර මහතාගේ වේදිකා නාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ජයමල් ජයවීරයන් විසින් සිදු කර ඇත. නව ආලෝකකරණ රටාවන් සැලසුම් කර සකස් කර ඇත්තේ නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ පුත් සන්දික කන්නන්ගරයන් විසිනි. අංග රචනා ශිල්පිනිය ලෙස විද්‍යාලීය ගුරුවරියක වන නිමාෂි ගමගේ මහත්මිය කටයුතු කර ඇත.

මෙම වේදිකා නාට්‍යය නැරඹීම සඳහා ප්‍රදේශයේ පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මාසයක පමණ කාලයක් තුළ මෙලෙස වේදිකා නාට්‍යයේ සියලු පුහුණුවීම් සිදුකර සාර්ථකව වේදිකා ගත කිරීමට හැකි වූයේ නාට්‍ය සඳහා සම්බන්ධ වූ සියලු දෙනා එක කණ්ඩායමක් ලෙස, කණ්ඩායම් හැඟීමෙන් යුතුව සහ නොපසුබට උත්සාහයෙන් මෙන්ම කැපවීමෙන් තම කාර්යයන් සාර්ථකව ඉටු කළ නිසා බව විද්‍යාලීය විදුහල්පතිනි ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරිය ප්‍රකාශ කළාය.

ඩිජිටල් යුගයේ සාන්තුවරයා,, ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා

“ඩිජිටල් යුගයේ සාන්තුවරයා” (The Saint of the Digital Age) ලෙස විරුදාවලී ලත් ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා තාරුණ්‍යයේ මුනිවරයෙකු ලෙසත්, ඩිජිටල් යුගයේ ආදර්ශයක් ලෙසත් ලොව පුරා ප්‍රකටය. 1991 මැයි 03 වන දින එංගලන්තයේ ලන්ඩනයේදී උපත ලබා, මිලාන් හි හැදී වැඩුණු කා(ර්)ලෝ, කුඩා කල සිටම දේව මෑණියන්ට කැප වූ අතර, පරිගණක තාක්ෂණය සහ අන්තර්ජාලය දෙවියන් වහන්සේගේ මහිමය උදෙසාත්, කතෝලික ඇදහිල්ල ප්‍රචාරණය කිරීම උදෙසාත් භාවිතා කළේය. වයස අවුරුදු 15 දී ලියුකේමියා රෝගයෙන් ස්වර්ගස්ථ වූ එතුමා “අන්තර්ජාලයේ ආරක්ෂක සාන්තුවරයා” (Patron Saint of the Internet) සහ “දෙවියන් වහන්සේගේ ඉන්ෆ්ලුවෙන්සර්” (God’s Influencer) ලෙස ලොව පුරා ජනප්‍රිය වී සිටියි.

කිසිදු විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් නොලැබුවද, වයස අවුරුදු 9 තරම් කුඩා කල සිටම C++ සහ Java වැනි සංකීර්ණ පරිගණක භාෂා ප්‍රගුණ කිරීමට කා(ර්)ලෝ සමත් විය. මෙම අතිදක්ෂ පරිගණක කුසලතා, “The Eucharistic Miracles of the World” නමින් අන්තර්ජාල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට යොදා ගනිමින් ඔහු “දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන්” පිළිබඳ තොරතුරු ලේඛනගත කළේය. ගරු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඔහුව නූතන තරුණ පරපුරේ, පරිගණක වැඩසටහන්කරුවන්ගේ මෙන්ම අන්තර්ජාලයේ ආරක්ෂක මුනිවරයා ලෙස හඳුන්වනු ලැබීය.

කා(ර්)ලෝ මුනිතුමන්ගේ ජීවිතය අධ්‍යාත්මික දියුණුවට පමණක් සීමා නොවීය. තමාට ලැබුණු මුදල් වලින් මිලානෝ නුවර වීදිවල සිටි නිවාස නොමැති අය වෙත රහසින් ආහාර සහ ඇඳුම් පැළඳුම් ලබා දෙමින් එතුමා දුප්පතුන්ට උපකාර කළේය. 2020 ඔක්තෝබර් 10 දින ගරු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් භාග්‍යවන්තභාවයට ඔසවනු ලැබූ කා(ර්)ලෝ අකුටිස් මුනිතුමන් 2025 සැප්තැම්බර් 7 වන දින ගරු 14 වන ලියෝ පාප් වහන්සේ විසින් ශුද්ධවරයට ඔසවනු ලැබීය. සෑම වසරකම, ඔක්තෝබර් මස 12 වන දිනට එතුමන්ගේ මංගල්‍ය දිනය යෙදී ඇත.

ශුද්ධවන්ත කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා අද ලෝකයට, විශේෂයෙන් තරුණ පරපුරට, ඩිජිටල් යුගයේදී දෙවියන්ට මෙන්ම මිනිස්සුන්ට ප්‍රේම කිරීම, ඇදහිල්ල වැනි යහපත් මානව ගුණධර්ම සමතුලිත කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ජීවත්ව සිටි කෙටි කාලය තුළ වුවද, මුළු මහත් මහත් ලෝකයටම ඉතා විශිෂ්ඨ වූ ආදර්ශයක් සැපයීය.

සටහන හා ඡායාරූප .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here