…
පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදනීය ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය විමර්ශන තවදුරටත් පුළුල් කරමින් සිටින අතර, ඊයේ දින (11/08/2026) තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව, මෙම බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් නම් කර ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරු සිද්ධිය වන අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරයේ සිට ඇති අතර, පසුව ඔහු ඇප මත නිදහස් වී නිවසට ගොස් සැඟවී සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියේය. දැඩි විමර්ශනයක් මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවත්, ඔහු නඩුවේ අංක 32 හිමි සැකකරු ලෙස නම් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලහ.
මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය ප්‍රකාශ කළේ, මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කල යුතු අතර එම හඳුනා ගැනීමේ පෙරට්ටුව, අගෝස්තු 21 වැනි දින පවත්වන බවයි. ඒ අනුව මෙම සැකකරුව අගෝස්තු 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.
පසුගිය අගෝස්තු 07 වැනිදා මෙම නඩුවට අදාළ සැකකරුවන් 38 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ආරක්ෂක හේතූන් මත ඔවුන්ගේ නම් විවෘත අධිකරණයේදී ඉදිරිපත් නොකළ අතර, නම් ලැයිස්තුව සහ ” බී ” වාර්තාව මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව එළඹෙන අගෝස්තු 21 වැනිදා වන විට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කර ඇති රැඳවියන් 62 දෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුල මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර,තවත් 100 කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම සිද්ධියට සම්බන්ධ නඩුකරය ඊයේ දින (1108/2016) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ අංක 01 හි සහකාර පොලිස් අධිකාරී චන්දන කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක දුලිත මධුරංග, අනිල්, අසේල සහ හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

















