උතුම් වු මව් සෙනෙහසට හැඟුම්භර අරුතක් එක්කළ සමාධි පදනමේ මහා සත්කාරය . ….
“” මාතු පාදං නමාමී “”
ලොව උතුම්ම පදවිය මව් පදවියයි. මතු දිනෙක ලොවට යහපත් ,පිරිපුන් දරුවෙකු දායාද කරන්නට සැරසෙන ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සහ මානසික සුව සහනය වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කිරීම පින්වත් සත්කාරයකි. මේ උතුම් සත්කාර්යය ඉටු කරමින්, මීගමුව සමාධි සංවර්ධන පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “මාතු පාදං නමාමී” ගැබිණි මව්වරුන් සඳහා මානසික ශක්තිය නඟාසිටුවීමේ, සහ පෝෂ්‍යදායි ආහාර ද්‍රව්‍ය පාර්සල් ප්රදානය කිරීමේ වැඩසටහන, මෙවර 11 වැනි වරටත් ඉතා සාර්ථකව පසුගිය 22 වැනි ඉරු දින (22/11/2026) පෙරවරුවේදී , මීගමුව, බෝලවලාන, ජනජයගම, ජයසුදර්ශනාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්විණි.
ජයසුදර්ශනාරාම විහාරාධිපති, සහ රාජාංගනයේ මහසෙන් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රපති, පණ්ඩිත පූජ්‍ය කයිකාවල ඥානකාන්ති තිස්ස ස්වාමීන් වහන්සේගේ පූර්ණ මඟපෙන්වීම සහ නායකත්වය යටතේ, පදනමේ නිර්මාතෘ රංජිත් ධර්මවංශ මහතා ඇතුළු එම සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වෙසෙන ගැබිණි මව්වරුන් 80 දෙනෙකුගේ ජීවිතවලට සතුට සහ සහනය ගෙන දීමට සමත් විය.
මෙම සුවිශේෂී දිනයේ අසිරිය තව තවත් වැඩි කරමින්, 2026 වසරේ ශ්‍රී ලාංකීය විවාහක රූ රැජින තරඟාවලියේ දෙවන ස්ථානය හෙවත් තරඟාවලියේ අනුශූරතාවය දිනාගත් රූමත්, ගුණවත් උදේශී වීරවංශ මහත්මිය එහි විශේෂ ආරාධිත අමුත්තියක ලෙස සහභාගී වීම කැපී පෙනුනි. ඇයගේ පැමිණීම, එම ගැබිණි මව්වරුන් අපේක්ෂා කරන මනා මානසික ශක්තියට සහ දිරිගැන්වීමට මහත් රුකුලක් විය. එම වැඩසටහනේදී ඇය විසින් ගැබිණි මව්වරුන් අරමුණු කර ගනිමින් ඉදිරිපත් කළ අභිප්‍රේරණ දෙසුම, එහි රැස්ව සිටි සියල්ලන්ගේම සිත් තුළට නව ජීවයක් එක් කිරීමට සමත් විය. සිය කීර්තිනාමය සමාජ සත්කාරයක් උදෙසා යොමු කළ උදේශී වීරවංශ මහත්මියගේ සුරතින් ගැබිණි මව්වරුන් වෙත පෝෂ්‍යදායි ආහාර පාර්සල් පිරිනැමීම, එම වැඩසටහනට ඉමහත් කලඑළියක් සහ ගෞරවයක් එක් කළේය.


පංචශීල ප්‍රතිපදාවෙන් සහ වැඩසටහනට සහභාගී වූ සියළු ගැබිණි මව්වරුන් ආශිර්වාද ගන්වමින් අංගුලිමාල පිරිත ද සජ්ඣායනය කළ , ජයසුදර්ශනාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත පූජ්‍ය කයිකාවල ඥානකාන්ති තිස්ස ස්වාමීන් වහන්සේ විසින් උත්තරීතර මව් පදවියේ ඇති අගය සහ වර්තමානයේදී අප ජීවත් වන තාක්ෂණික ඥානය සපිරි සමාජයක සිට දරුවෙකු හදා වඩා ගැනීමේ භාරදූර කාර්යභාරය පිළිබඳව මව්වරුන්ට ඇති වගකීම් සමුදාය ගැන ඉතා හරවත් කෙට් අනුශාසනාවක්ද සිදු කලහ. එලෙසම මෙම වැඩසටහනට සහහගී වු සියළුම මව්වරුන්ගේ මානසික සුව සහනය උදෙසා සංගීතමය රසවින්දනාත්මක අභිප්‍රේරණ වැඩසටහනක්, මනෝ චිකිත්සක සායනයක් සහ අක්ෂි සායනයක් ද ඇතුළු තවත් සමගාමී වැඩසටහන් කිහිපක්ද එදින මෙම විහාරස්ථ පරිශ්‍රයේ දී පවත්වන ලදී. මීට අමතරව, දහම් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වූ අතර, දහම් පාසල් දරුවන් සඳහා පොත්පත් බෙදා දීමක් ද සිදු කෙරිණි.
කටාන පොලිස් ස්ථානයේ ප්‍රජා සහ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.එල්.එම්. රාහු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයත්, ප්‍රදේශයේ ප්‍රකට ගණිත ගුරුවරයෙකු වන නිමේෂ් චතුරංග මහතාගේ කෙටි දෙසුමත් වැඩසටහනට එක් කළේ අමතර අගයකි. කොළඹ වේළුවන මහා විද්‍යාලයේ විදුහල්පති, ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා දේශක සුසන්ත කරුණාරත්න මහතා සහ ඔහුගේ ගායන කණ්ඩායම විසින් ඉදිරිපත් කළ මව් ගුණ ගායනා වැඩසටහන , සවන් දෙන ඕනෑම අයෙකුගේ සිතෙහි උත්තරීතර මව් සෙනෙහසේ උල්පත් මතු කිරීමට සමත් විය. ප්‍රදේශයේ ප්‍රකට තොරතුරු සන්නිවේදන අධ්‍යක්ෂකවරයෙකු වු ජානක ප්‍රියදර්ශන සිල්වා මහතා ඇතුළු ඔහුගේ ඥාතීන්ගේ මුල්‍ය අනුග්‍රහයෙන් වැඩසටහනට සහභාගි වු සියළු ගැබිණි මවුවරුන් වෙනුවෙන් පිරිනැමූනු දහවල් ආහාර සංග්‍රහය ද මෙහි සාර්ථකත්වයට හේතුවිය.

සමාජයේ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වූ මෙම වැඩසටහන, හුදෙක් පෝෂණ ආහාර ද්‍රව්‍ය සපිරි පාර්සලයක් ප්රදානය කිරීමට එහා ගිය ගැබිණි මව්වරුන්ගේ මානසික හා ශාරීරික සුව සහනය වෙනුවෙන් ප්රදානය කළ ආදර්ශවත්, මාහැඟි සත්කාරයක් වනු නොවනුමානය.
සටහන .-. තුෂාර රොහාන් ප්‍රනාන්දු



























