මීගමුවේ ආපනශාලා වර්ගීකරණය තවදුරටත් කල් යයි ද ?සංචාරක නගරයේ සෞඛ්‍ය ප්‍රමිති පිළිබඳ දැඩි අවධානයක්!

0
51

ප්‍රධාන පෙළේ සංචාරක නගරයක් වන මීගමුවේ ආපනශාලා සහ ආහාර අලෙවිසැල් විධිමත් ප්‍රමිතියකට යටත්ව වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලිය (H 800 වැනි වැඩසටහන් ඇතුළුව) මෙතෙක් ක්‍රියාත්මක නොවී මඟහැරී යාම සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජනතාව සහ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

​දිවයිනේ විවිධ ප්‍රදේශවල ආපනශාලා පාරිභෝගික සෞඛ්‍යාරක්ෂාව සහ ගුණාත්මකභාවය මත පදනම්ව A, B, C ලෙස හෝ වර්ණ සංකේත මඟින් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කළද, මීගමුව වැනි ජාත්‍යන්තර මට්ටමේ සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන නගරයක එවැනි විධිමත් ක්‍රමයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවී තිබීම බරපතල ගැටළුවක් බවයි වාර්තා වන්නේ.

​විශේෂයෙන්ම ලුවිස් ප්ලේස්, පෝරුතොට,පෙරියමුල්ල ආදි ප්‍රදේශවල  මෙන්ම නගර මධ්‍යයේ ඇති ආපනශාලා පරීක්ෂා කිරීමේදී ඇතැම් ස්ථානවල පවතින සනීපාරක්ෂක අඩුපාඩු සහ ප්‍රමිති නොමැතිකම හේතුවෙන් දේශීය හා විදේශීය සංචාරකයින් අපහසුතාවට පත්වන අවස්ථා වාර්තා වී ඇත. එබැවින්, අදාළ බලධාරීන් සහ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිකුත් කරන ප්‍රකාශවලින් ඔබ්බට ගොස්, කඩිනමින් ප්‍රායෝගික ක්‍රියාමාර්ග හරහා මීගමුවේ ආපනශාලා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වර්ගීකරණය කළ යුතු බවට සිවිල් සංවිධාන සහ පාරිභෝගිකයෝ තරයේ ඉල්ලා සිටිති.

එම්.පී.ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here