ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තරඟයේ ,දෙවන ස්ථානය මීගමුවේ “උදේශී වීරවංශට”…..

0
301

 

සුන්දරත්වය යනු හුදෙක් බාහිර රූපකාය නොවන බවත්, එය ජීවිතයේ අත්විඳින ලද විවිධ වු අත්දැකීම් සහ අභියෝග මැදින් ගොඩනැගෙන අභ්‍යන්තර ශක්තියේ එකතුවක් බවත් ලොවට පසක් කරමින්, මේ වසරේ එනම් 2026 වසරේ ‘මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්’ (MRS. SRI LANKA, WORLD) හෙවත් ශ්‍රී ලංකා, විවාහක රූ රැජිණ -2026 තරඟාවලියේ අනුශූරතාවය ( 01st Runner up ) ජය ගැනීමට මීගමුව පුරවරයේ “” උදේශී වීරවංශ “” සමත් විය. ඇයගේ මේ ජයග්‍රහණය හුදෙක් කිරුළකට පමණක් සීමා වූවක් නොව, එය දහස් ගණන් කාන්තාවන්ට දිරිය ආදර්ශයක් සපයන විවිධ වු අත්දැකීම් වලින් සමන්විත වන අපුරු ජීවන ගමනක ජයග්‍රාහී පරිච්ඡේදයක් ලෙසද හඳුන්වා දිය හැකිය

පළමු පෙල ගුවන් සේවිකාවක සිට සාර්ථක ව්‍යාපාරිකාවක දක්වා ….

මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයෙන් ඉතා සාර්ථක අධ්‍යාපනයක් ලබා, උදේශී, තම වෘත්තීය දිවිය ආරම්භ කරන්නේ ගුවන් සේවිකාවක ලෙසය. ලෝ ප්‍රකට ගුවන් සේවාවන් කිහිපයකම , පළමු පෙළ ගුවන් සේවිකාවක ලෙස සේවය කරන්නට ඇයට වාසනාව හිමි විය. රාජකීය ජොර්දාන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ කටාර් ගුවන් සේවය වැනි ගුවන් සේවා වල සේවය කරමින් ඇය ලබා ගත් විවිධ වූ අත්දැකීම් සහ පලපුරුදුකම් , ඇයගේ පෞරුෂය වඩාත් මුවහත් කරමින් ඇයව වඩාත් පරිණත සහ දිරිය කාන්තාවක් බවට පත් කලාය. පසුව එම රැකියාවෙන් ඉවත්ව, සිය අභිප්‍රාය වූ ව්‍යාපාරික ක්ෂේත්‍රය දෙසට යොමු වු ඇය, අද වන විට දක්ෂ ව්‍යාපාරික කාන්තාවක ලෙස ස්වාධීන ගමනක් යමින් සිටී.

ආදරණීය පවුල් පසුබිම …..

ඇයගේ මෙම සාර්ථක ගමනේ පසුපස සිටින ශක්තිමත් දැවැන්ත හස්තය වන්නේ ඇයගේ ආදරණීය සැමියා වන ගිහාන් කවින්ද්‍ර වීරවංශය. මීගමුවේ ප්‍රකට ව්‍යාපාරික පවුලකින් පැවත එන ඔහු, අද වන විට තමන්ගේම ව්‍යාපාරික පසුබිමක් ගොඩනගා ගත් මීගමුව පුරවරයේ පමනක් නොව ඉන් පරිබාහිර ප්‍රදේශ වල පවා ප්‍රකට වු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔවුහු දරුවන් තිදෙනෙකුගේ මාපියන් ලෙස ඉතා යහපත් පවුල් දිවියක් ගතකරමින් සිටි. ඔවුන්ගේ වැඩිමහල් දියණියන් දෙදෙනා මේ වන විට කොළඹ ශාන්ත බ්‍රිජට් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ඔවුන්ගේ බාල පුතු මේ වන විට පෙර පාසලක අධ්‍යාපනය ලබමින් සිටී. පවුල් ජීවිතය සහ ව්‍යාපාරික කටයුතු අතරේ සමබරතාවයක් පවත්වා ගනිමින් උදේශී ඉටුකරන බිරිඳකගේ සහ මවකගේ භූමිකාව කාන්තාවන්ට මහඟු ආදර්ශයකි.

රුදුරු පිළිකා රෝගය පරාජය කළ ආත්ම ශක්තිය . …

උදේශී විරවංශ නම් මේ සොඳුරු , සුරූපී, දිරිය රුවැත්තියගේ දිවිමගේ වඩාත්ම අභියෝගාත්මක කාලවකවානුව වූයේ ඇයගේ බාල පුතු උපත ලැබීමට සිටි සමයේ ඇයට වැළඳුණු රුදුරු පිළිකා රෝගයයි. එවැනි රුදුරු මාරාන්තික රොග පීඩාවක් අභියස සිටියදී පවා ඇය නොබියව, නොසැලී, ධෛර්ය සම්පන්නව ඊට මුහුණ දුන්නාය. ඇය සතු අප්‍රතිහත ධෛර්යය සහ නොපසුබට උත්සාහය මෙන්ම දැඩි මානසික ශක්තිය ඉදිරියේ එම මාරාන්තික රුදුරු පිලිකා රෝගය මුළුමනින්ම පරාජයට පත් කරන්නට ඇයට හැකි විය. අද වන විට ඇය ජයග්‍රහණය කර තිබෙන මෙම රූ කිරුළ , විවිධ වූ රෝගාබාධ වැළඳීමෙන් ශාරිරිකව සහ විශේෂයෙන්ම මානසිකව පීඩා විඳින සුවහසක් කාන්තාවන්ට ලබා දෙන්නේ අසීමිත බලාපොරොත්තුවකි.

තරඟාවලිය සහ ජයග්‍රහණය. ….

මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්’ (MRS. SRI LANKA, WORLD) යනු විවාහක කාන්තාවන්ගේ සුන්දරත්වය සහ රූ සපුව පමණක් නොව ඔවුන්ගේ බුද්ධිය, උගත්කම, හැසිරීම සහ සමාජීය ගෞරවය විනිශ්චයට ලක් කරමින්, ජාත්‍යන්තරයට ඔසවා තබන, ජාතික මට්ටමේ අභිමානවත් වේදිකාවකි. මීට පෙර කිසිදු රූ රැජින තරඟයකට සහභාගි නොවූ උදේශී, සිය ප්‍රථම ප්‍රයත්නයෙන්ම, ප්‍රථම වටයේදී තරඟකාරියන් 25 දෙනෙකු පමන අතඑින් අවසන් වටයට තේරී පත්වූ සුරූපී විවාහක කතුන් 13 දෙනා අතරට එක් වූවාය. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැති අවසන් මහා තරඟයේදී දරු තිදෙනෙකුගේ මවක් ලෙස එම අවසන් තරඟ වටය නියෝජනය කළ එකම තරඟකාරිය බවට පත් වීමද ඇයගේ සුවිශේෂත්වය ලොවට කියා පෑ තවත් එක් අපුරු අවස්ථාවක් විය. විශේෂයෙන්ම මෙම රූ රැජිණ තරගාවලියේ, ප්‍රශ්න සහ පිළිතුරු (Q&A) වටයේදී වැඩිම ලකුණු හිමිකර ගැනීම සහ තරඟයේ හොඳම ව්‍යාපෘතිය ( Best Project ) ඉදිරිපත් කිරීම තුළින් ද ඇයගේ බුද්ධිමය ප්‍රාගුණ්‍යය මනාව පිලිඹිබු විය.

තරගාවලියේ අවසන් තීරණාත්මක මොහොත . ….

තරඟාවලිය පුරාම ඉදිරියෙන් සිටි ඇය, මෙම තරගාවලිය ආරම්භ කල මොහොතේ පටන්ම බොහෝ දෙනකු මත පළ කලේ ඇය මෙවර එනම් මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්’ (MRS. SRI LANKA, WORLD) හෙවත් ශ්‍රී ලංකා, විවාහක රූ රැජිණ -2026 තරඟාවලියේ කිරුළ අනිවාර්යෙන්ම ඇයට හිමි විය යුතු බවයි. නමුත් එසේ වුවද, තරඟයේ අවසන් මොහොතේදී ඇයට හිමිවුයේ තරගාවලියේ ( 01st Runner up) අනුශූරතාවයයි. කෙසේ වුවද උදේශී වීරවංශ එම ජයග්‍රහණය තුළින් ද මීගමුව පුරවරයට සහ ගම්පහ දිසාවටම ගෙන ආවේ ඉමහත් කීර්තියකි. එලෙසම විශල් අභිමානයකි .

අනාගත දැක්ම. …..

මෙම සුවිශේෂි ජයග්‍රහණයෙන් පසු උදේශීගේ අරමුණ වී ඇත්තේ සමාජයේ අසරණ තත්ත්වයට පත්ව ආධාර අපේක්ෂිත ජනතාව වෙනුවෙන් සහ විශේෂයෙන්ම රෝගාබාධවලින් පෙළෙන අසරණ දරුවන් වෙනුවෙන් ද සමාජ සත්කාරක සේවාවන්හි නිරත වීමයි. ජීවිතයේ රුදුරු අභියෝගයන් පවා ජයගත් ඇය, තවත් දහස් ගණනකගේ ජීවිත ආලෝකමත් කිරීමට සැරසෙන්නීය. විශේෂයෙන්ම විවිධ රෝගාබාධයන්ට ලක් වී ශාරීරිකව මෙන්ම මානසිකව ඇද වැටී බලාපොරොත්තු කඩ වී, මුළුගැන් වී, සිටින මෙරට සුවහසක් කාන්තාවන් නඟාසිටුවීමට ඉදිරිකාලයේදී ඇය විසින් අභිප්‍රේරණීය ( mortivation ) කාර්යයන් රැසක් දියත් කිරීමට බලාපොරොත්තුව සිටී. උදේශී වීරවංශ නම් වූ මේ අපූර්ව දිරිය රුවැත්තියගේ අනාගත සද්කාර්යයන් සියල්ල සඵලමත් වේවා යන්න ” මීපුර ” අපගේද ප්‍රාර්ථනයයි.

සටහන .-.
තුෂාර රෝහන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here