ඓතිහාසික වටිනාකමකින් සහ සුවිශේෂී සුන්දරත්වයකින් අනූන, මීගමුවේ සංචාරක ආකර්ෂණයට මහත් රුකුලක් වන හැමිල්ටන් ඇළ, අවිධිමත් මානව ක්රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස අපවිත්ර වී දූෂණයට ලක්ව තිබේ. මේ ඛේදජනක තත්ත්වයට පිළියම් සෙවීම පිණිස, මීගමුව සංචාරකයන්ගේ සංගමය (NTA) විසින් අද උදෑසන ( 18/10/2026 ) නවමු සහ කාලීන වැඩසටහනක් දියත් කරන ලදී.
“ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්” ලෙස නම් කර ඇති මෙය, හැමිල්ටන් ඇළ දෙපස වෙසෙන නිවාස හිමියන් , ව්යාපාරික ප්රජාව සහ ධීවර කර්මාන්තයේ නියැලෙන්නන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරිණි. මීගමුව සංචාරකයන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් බෝට්ටු කිහිපයකින් ගමන් කරමින්, බැනර් සහ දැන්වීම් පුවරු ප්රදර්ශනය කරමින්, ශබ්ද විකාශන යන්ත්ර උපයෝගී කර ගනිමින් මහත් උද්යෝගයෙන් යුතුව මෙම දැනුවත් කිරීමේ මෙහෙයුමට දායක වුහ.

ඔවුන්ගේ ප්රධාන ඉල්ලීම වූයේ, ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු කිසිදු අපද්රව්යයක් හැමිල්ටන් ඇළට බැහැර නොකරන ලෙසයි. “හැමිල්ටන් ඇළ යනු අප පරිසරයේම කොටසක් බවත්, මේ සුන්දර පරිසරය රැක ගැනීම අප සැමගේම යුතුකමක් බවත්” ඔවුන් එහිදී අවධාරණය කළහ. ජලජ ජීවීන් රැක ගැනීමටත්, අප සැමටම සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමටත්, අප අවට සුන්දර පරිසරය රැක ගැනීමටත් දායක වන ලෙස ඔවුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියාහ.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නව සංකල්පනාවක් ලෙස ක්රියාත්මක වූ අතර, බෝට්ටු 08ක් පමණ මීගමුව හැමිල්ටන් ඇළේ ප්රදර්ශනාත්මකව ධාවනය කල අතර මීගමුව කොතලාවල පාලම ආසන්නයේ “”චොයිස් රෙස්ටුරන්ට්”” ආපන ශාලාව අසලින් ආරම්භ වූ මෙම බෝට්ටු චාරිකාව, මොය ප්රදේශය ආසන්නයටම, එනම් කිලෝමීටර 04ක පමණ දුරක් දක්වා විහිදිණි. පපරේ සංගීත වාදන මධ්යයේ ශබ්ද විකාශන යන්ත්ර මගින් ජනතාව දැනුවත් කිරීම සිදු වූ අතර, ඇළ දෙපස ජනතාව මහත් උද්යෝගයකින් යුතුව මේ වැඩසටහනට සම්බන්ධ වූ අයුරු දැකගත හැකි විය.
මීගමුව සංචාරකයන්ගේ සංගමය, අපේ පරිසරය සහ අනාගත පරපුර වෙනුවෙන් පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා දැනට සිදුකරගෙන යන වැඩසටහන් මාලාවක තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්රියාවට නැංවීය. මෙවැනි දැනුවත් කිරීමේ බෝට්ටු සවාරි 21ක් ඉදිරිඉදිරි කාලයේදී හැමිලටන් ඇල දෙපස වෙසෙන ජනතාව ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර, අද උදෑසන ආරම්භ වූයේ එහි පළමු මංගල වැඩසටහනයි.
මෙම වැඩසටහන සඳහා මීගමුව සංචාරකයන්ගේ සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා ඇතුළු එම සංගමයේ උසස් නිලධාරින් සහ නිලධාරිනියන් සහභාගී වූහ. මීගමුව මහජන සෞඛ්ය වෛද්ය නිලධාරී, වෛද්ය ජයන්න සිරිවර්ධන මහතා සහ මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්රීනි, බ්රෙන්ඩා ක්රිෂාන්ති මහත්මියද මෙම බෝට්ටු සවාරි වැඩසටහන සඳහා එක් වූහ.
හැමිල්ටන් ඇළ මේ වන විට දැඩි ලෙස අපවිත්ර වීමට ප්රධාන හේතුවක් වී ඇත්තේ, ඇළ දෙපස පිහිටි සමහර නිවෙස් වල සහ ව්යාපාරික ස්ථානවල ඇති වැසිකිළි, කැසිකිළි මෙන්ම මුළුතැන්ගෙයි අපජලය ඇළට මුදාහැරීමයි. එසේම පොලිතින්, ප්ලාස්ටික්, ෂොපිං බෑග්, ලන්ච් ෂීට්, ප්ලාස්ටික් වතුර බෝතල් වැනි දිරා නොයන අපද්රව්ය බැහැර කිරීමද මේ තත්ත්වයට ප්රබල ලෙස බලපා ඇත. මෙම අපද්රව්ය නිසි ලෙස දිරා නොයෑමෙන්, සහ බැහැර නොයා,එක තැන පල් වීමෙන් , සමහර කාල වලට ඇළේ ජලය කළු පැහැ ගැන්වී, ඉවසා ගත නොහැකි දුර්ගන්ධයක්ද ඇති වේ.
මීගමුව සංචාරකයන්ගේ සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා අවධාරණය කරන්නේ, හැමිල්ටන් ඇළ අපවිත්ර කරන අයට දඬුවම් දීමට වඩා, ඔවුන් නිසි ලෙස දැනුවත් කිරීම තුළින් ඇළ රැක ගැනීමට උත්සුක විය යුතු බවයි. එබැවින්, මෙම දැනුවත් කිරීමේ බෝට්ටු චාරිකා 21ක් පවත්වමින් ජනතාවට නිසි දැනුවත් භාවයක් ලබා දී, මීගමුවේ හැමිල්ටන් ඇළ සහ එම පරිශ්රය රැක ගත යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය. අනාගත පරපුර වෙනුවෙන් මෙම ඓතිහාසික සහ දැඩි සංචාරක ආකර්ෂණයක් සහිත හැමිල්ටන් ඇළ රැක ගැනීම , මීගමුවේ වෙසෙන අප සැමගේම යුතුකමක් සහ කාර්යභාරයක් වන බවද මීගමුව සංචාරකයන්ගේ සංගමයේ සභාපති ,ඒ . වර්ණ කුමාර මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය..
සටහන .-.
තුෂාර රොහාන් ප්රනාන්දු



















