spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අභිමානය අහිමි වූ මිනිසුන්ගේ මළගම

Must read

වර්ණකුලසුරිය ජේසුමරිය කිංස්ලි මහතා අද සවස සිය පවුලෙන් සහ ඥාතීන්ගෙන් වෙන්ව අවසන් ගමන් ගියේය. ඔහුගේ මළගම සිදුවූයේ හලාවත – තලාඩිවැල්ලේදීයි. දැනට මාස 4කට පෙර හලාවත එගොඩවැල්ලේ දී  සිදුවූ  ඉන්ධන මිළ ඉහල දැමීමේ විරෝධයේදී  පොලිසීය සිදුකළ වෙඩි පහරින් කිංස්ලිගේ එක් පාදයකට වෙඩි වැදී  ඔහුගේ පාදය පණ නැතිව ගියේය. කොළඹ රෝහ‍ලේ මාස එකහමාරක් පමණ ප්‍රතිකාර වලින් පසු ජේසුමරිය කිංස්ලි මහතා ගෙදර පැමිනියේ  සිය ජීවිතයට ඇති එකම සවිය වූ පාදය අහිමි කරගනිමිනි. එතැන් පටන් දරැවන් 4 දෙනෙකු ජීවත් කරන්නට මාර්ගයක් ඔහුට නොවීය. ධීවර රැකියාව කරමින් ජීවත් වූ කිංග්ස්ලිට ගෙදර ඇදට වී  සිටින්නට සිදුවී මාස 4කුත් නික්ම ගියද ඒ වෙනුවෙන් කිසිදු වන්දියක් හෝ ආධාරයක් ඔහුට හෝ වෙඩි වැදී තුවාල වූ කිසිදු ධීවරයෙකුට නොලැබුණි.
මේ සිදුවීමෙන් පසු පවුලේ වගකීම හිතට ගත් ඔහුගේ 14 වියැති වැඩිමහල් පුතු පාසල් ගමන නවතා කලපුව  ගොස් මාළු විකුනා ලැබෙන මුදල ගෙදරට ගෙන ආවේය. පුතුන් 3 දෙනෙකුත් එක් දියණියකුත් සිටින කිංසිලි සහ ඔහුගේ බිරිද  එම සිදුවීමෙන් පසු පත්වූ අසරණකම කිසිවෙකුට නොපෙණුනත් එය දරාගන්නට ඔවුන් පසුගිය කාලයේම පුරැදු වන්නට ඇත.

අධ්‍යාපනය නතර කළ පුතාගේ මේ ධෛර්්‍යවන්තකම ඉදිරියේ දුක දරන්නට බැරිව ගිය තැන විටෙක ඔහු සිය පුතුගේ කකුල් දෙක අල්ලා වැද වැටී  හඩාවැටී ද ඇත. තමන්ගේ දරුවන්ගේ කුස පුරවන්නට නොහැකිව අසරණ වූ කිංසිලි තමන්ගේ දුක ,වැළපුම නිරන්තරයෙන් සිය අසල්වාසීන්ට ද  පැවසූ බව ඔවුහු පවසති.
හලාවතදී වෙඩිවැදුන ඇන්ටනීගේ මළ ගමින් පසු කිසිවිටකත් කිසිවෙකුටත් වෙඩිවැදුණ අනෙක් අය ගැනද මතකයක් නොවූයේය. වෙඩිවැදුන අය තමන්ගේ අහිමිවූ දේ සමග තනිවිය. කිංසිලිටත් සිදුවූයේ තමන්ට සිදුවූ  අසාධාරණය තුළ තනිවෙමින් දුක්විදීමටය. සිය පසුතැවීම තුළ අවසන් තීරනයකට එළඹී ඔහු ජුනි 15 වනදා සියතින්ම ගෙල වැලලාගෙන ජීවිතයෙන් සමුගන්නට තීරණය කර තිබුණි.
ඉන්ධන මිළ ඉහළ ගිය පසු ධීවරයින් සිය රැකියාව කරගන්නට නොහැකිව අදටත් ජීවත්වන්නේ අදෝනා නගමිනි. බොහෝ සුළු ධීවරයින් ධීවර රැකියාව අතහැර වෙනත් රැකියා මාර්ග වලට යොමුවිය. සමහරැන් රට හැර යාම තෝරාගති. මූදට ගියත් වෙනදා ලැබූ ලාභයෙන් බාගයක් වත් නොලැබෙන බව ධීවරයෝ පවසති.
මිනිසුන් තමන්ගේ බඩ වියත වෙනුවෙන් අරගල කරද්දී පාලකයෝ වෙඩි තබති. වෙඩිතැබූ අයට ද කිසිදු දඩුවමක් නොමැත. වෙඩිවැදුන මිනිසුන්ටද රජයෙන් වන්දියක් නොලැබේ. දරිද්‍රතාවයේ ගිලුණ මිනිසුන් ජීවත්වන්නේ භාගෙට මැරි මැරීය.  බඩගින්න හමුවේ සටන් වදින මිනිසුන් මරා දමා නිහඩ කරවති. අවසානයේ කිංසිලි වැනි අසරණ මිනිසුන් හුදකලා වී ජීවිතයෙන් සමුගනිති. අරගල අවසන් වන්නේ  මිනිසුන් හුදකලා ගොදුරු බවට පත්වෙමිනි.  
පෙබරවාරි 15 වනදා සිදුවූ වෙඩිතැබීමෙන් පසු වැල්ලේ ධීවරයන් සිටින්නේ ආණ්ඩුවත් සමග අමනාපයෙනි. තමන්ගේ විරෝධය නොපෙන්වුවද ඔවුන්ගේ සිත් පෑරුණ බව  සියල්ලෝ දනිති.  ඇන්ටනීගේ මළ ගෙදරට ද ආන්ඩු පක්ෂයේ කිසිවකුට එන්නට එතරම් අවස්තාවක් නොලැබුණේ ද එබැවිනි.  ඒ දින කීපයම හලාවත ප්‍රදේශය තුළ විරෝධය රජවිය.  රොෂේන්ගේ මළගම මෙන් ඇන්ටනීගේ මළගම ආන්ඩුවට අවැසි පරිදි  අධ්‍යක්ෂණ්‍ය කරගන්නට ද නොලැබුණි.  හලාවතදී තුවාල ලැබූ ධීවරයන් සිය විරෝධයත් සමග ජීවත්විය. ඔවුන් කිසිවෙකුගේ පාද ලෙවකන්නට නොගිය බවද අද කිංසිලිගේ මළගම  විසින් පවසන තිත්ත ඇත්තයි.  තලාඩි වැල්ලේ සුසාන භුමියට අද ජේසුමරිය කිංසිලිගේ දේහයට තනි රකින්නට පැමිණ සිටියේ ඔහු වැනිම වූ  ඔහුගේ අසරණ ධීවර මිතුරන් පමණී. කිසිදු දේශපාලකයෙක් හෝ රාජ්‍ය නිලධාරියෙකු හෝ ආගමික නායකයෙකු හෝ  එහි නොසිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article