spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආදරණීය ෆාදර්, ඇලොයි ,ඔබට සුබ උපන්දිනයක් !

Must read

 

මහාචාර්ය ඇලොයි පිරිස් පියතුමා අප හඳුනා ගන්නේ 1982 – 86 අපේ සරසවි ජීවිත කාලයේදීය. අපට ඔහු ෆදර් ඇලොයි විය. එබැවින් මෙම සටහනේදී අපි ඔහුව එසේ හඳුන්වමු.
පුංචි, කඩිසර මනුෂ්‍යයෙක්. ඔහුගේ කටහඬේ තිබුණේ දිගින් දිගටම කතා කිරීම නිසා ඇති වූ උගුර බැරන්ඩි වූ බවකි. එහෙත් ඒ හඩේ තිබුණේ අමුතුම සුන්දරත්වයක්.
ඔහු අපේ වැඩසටහන් කෙරුවේ සිංහල භාෂාවෙන්, එහෙත් අවශ්‍ය වෙලාවේදී ඔහු සංස්කෘත භාෂාව, පාලි භාෂාව වගේම, ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් සහ හීබෘ භාෂාවන් කතා කරන්නේ වතුර බොනවා සේය.
බයිබලය සහ ත්‍රිපිටකය ගැන පමණක් නොව අනිකුත් ආගමික ග්‍රන්ථ පිළිබඳව මේ තරම් ගැඹුරු පුළුල් අවබෝධයක් තිබූ මනුෂ්‍යයෙක් මට නම් මගේ ජීවිතයේදී හමුවී නැත.
තමා කියවා ඇති ආගමික ග්‍රන්ථවල පමණක් නොව ඊට අදාළ වෙනත් පොත්පත්වල විශේෂ තැන් පිටු වශයෙන් පමණක් නොව වගන්ති සහ ඡේද වශයෙන් පවසන්නට තරම් මතකයක් ඔහුට තිබුණි.
ඔහු නම් මහා ප්‍රාඥයෙකි.
යුරෝපීය විශ්ව විද්‍යාල ගණනාවකම බෞද්ධ දර්ශනය පිළිබඳ දේශන පවත්වන්නට ඇතිකර ගනු තිබූ ගිවිසුම් නිසා ඔහුට වැඩිපුර කාලයක් ගත කරන්නට සිදුවූයේ යුරෝපයේය. කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පැමිණ ගත කරන කාලය තුළ තමාගේ දැනුම ශ්‍රී ලාංකීය ශිෂ්‍ය පරපුරට ලබාදීමට ඔහු කිසිම දිනක අමතක කළේ නැත.
ෆාදර් ඇලොයි ගේ වියක්ත සිංහල භාෂා හැසිරවීම සැබවින්ම අපව අමානන්දයට පත් කළේය.
අප අසා ඇති ආකාරයට බයිබලයේ විමුක්තිකාමී හරය ගැඹුරින් මතු කරගෙන එය සමාජගත කරන්නට ඔහු දැරූ වෑයම අද බොහෝ දුරට සාර්ථක වී ඇති බව කිව හැක්කේ ඔහු හදුන්වා දුන් දේවධර්මයේ විමුක්තිගතික බව ගැන සමාජය තුළ සුවිශේෂී උනන්දුවක් ඇති නිසාය.

එහෙත් ශ්‍රී ලංකාවේ කතෝලික සභා ජේෂ්ඨයන්ට විටෙක ඔහුව හිසරදයක් බවට පත් වූයේ බයිබලය සහ දේව ධර්මය පිළිබඳ ඔහු සතු දැනුම අහලකටවත් එන්නට ඔවුන්ට නොහැකි වූ නිසා සේම ඔහු විවෘතව කතා කරන කිතු දහමේ “සත්‍යය’ මේ ඊනියා සභා ජේෂ්ඨයන් විසින් වසාගෙන සිටි නිසාය.

පාරම්පරික දිව්‍ය පූජා වත්පිළිවෙතට ඔහු නව අරුතක් දෙන්නට උත්සාහ කළේය, දේශීය සංස්කෘතිය සහ කලාවේ යම් යම් හැඩයන් දිව්‍ය පූජා යාගය තුළ පැළකිරීමට ඔහු ගත් උත්සාහයට සාම්ප්‍රදායික කතෝලික සභාවෙන් නම් සහයක් ලැබුණේ නැත. එහෙත් ඔහු සමග ඇසුරු කළ අප ඇතුළු බොහෝ දෙනෙකුට ඒ සුන්දර අත්දැකීම විඳින්නට වාසනාව හිමිවිය.
ජේසු නිකායේ පූජකයෙකුවූ මේ සුන්දර මිනිසා විසින් තමා බටහිර විදේශීය රටවල කරන ලද අධ්‍යාපනික කටයුතු නිසා උපයා ගත් සියල්ල ආයෝජනය කළේ සමාජ සහ සාමයික අධ්‍යයනයන් සදහා පවත්වාගෙන යන “තුලන අධ්‍යයන කේන්ද්‍රය” ගොඩනැගීමට සහ ඒ තුළින් දේව ධර්මයේ විමුක්තිගතික බව සමාජය තුළ පැල කරන්නටය.
කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන්ව සිටින කාලයේදී පමණක් නොව ඉන් අනතුරුව කතෝලික උපාධිධාරින්ගේ සහ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ සාමාජිකයන් ලෙසද අපගේ කිතුනු දැක්ම නිවැරදි මාවතකට යොමුකරවීම සඳහා ෆාදර් ඇලොයි ගෙන් ලද සහයෝගය සහ මග පෙන්වීම අපි ඉතා ගෞරවයෙන් යුතුව මතක් කරමු.

2024 අප්‍රියෙල් 09 දිනට ෆාදර් ඇලොයි තම ජීවන ගමන් මගේ 90 සැතැපුම් කනුවට ලගාවේ.
කතෝලික උපාධිධාරීන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ අපි ඔහුට සුභ උපන්දිනයක් වේවායි පතන අතර තව බෝහෝ කාලයක් අප සමග සිටින්නට අවශ්‍ය නිරෝගි බව පතමු.

කතෝලික උපාධිධාරීන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය

2024.04.09

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article