ආසියානු සහ පැසිෆික් කලාපීය ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක සමුළුව , මීගමුවේදී ඇරඹෙයි

0
72

 

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආසියානු හා පැසිෆික් කලාපයේ රටවල් 25 ක, නියෝජිතයන් 80 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු සහ පැසිෆික් කලාපීය ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක සමුළුව මෙවර මීගමුවේදී පැවැත්වෙයි, මෙම ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය පසුගිය 23 වැනි (23/06/2026) අඟහරුවාදා දින පෙරවරුවේ මීගමුව, ” ගෝල්ඩි සෑන්ඩ්” හෝටලයේදී පැවැත්විණි.

මෙම සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා , වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ( The International Civil Aviation Organization — ICAO ) ආසියානු හා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂක ටාඕ මා මහතා ඇතුළු තවත් ප්‍රධාන ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ජාත්‍යන්තර සමුළුව සදහා ආසියා පැසිපික් කලාපයේ ගුවන් ආරක්ෂණ විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත නියෝජිතයින් රැසක් සහභාගි වන අතර නවතම ගුවන් ආරක්ෂක අභියෝග, ඒ සඳහා භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සහ ඒ තුළින් කලාපීය සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම තවදුරටත් තහවුරු කර ගැනීමට , සාකච්ඡා කිරීම මෙම සමුළුව තුලින් සිදුවේ.


ඒ අනුව මෙම ජාත්‍යන්තර සමුළුවෙි සමාරම්භක උත්සවය ඇමතු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ආසියා ශාන්තිකර කලාපයේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 21 වැනි සමුළුව අද දවසේ මෙලෙස ආරම්භ කරන බවයි. ඒ අනුව මෙම කලාපය නියෝජනය කරන විවිධ සිවිල් ගුවන් සේවාවන්ට සම්බන්ධ , විවිධ නියෝජිත ආයතනවල සාමාජිකයන් මෙම ජාත්‍යන්තර සමුළුව ට සහභාගි වීම තුළ මෙරට ගුවන් ආරක්ෂණය සහ සිවිල් ගුවන් සේවාවේ ඉහළ ප්‍රමිතීන් පිලිබඳව ඉහල පිළිගැනීමක් ලැබෙන අවස්ථාවක් බවට මෙම අවස්ථාව පත්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය. එලෙසම අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ජාත්‍යන්තර සමුළුවට සමගාමීව ඉදිරි වසර 02 ක කාලය දක්වා ආසියා ශාන්තිකර කලාපයේ මෙම මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා එම සභාපතිත්වය දරණ බවත් , එම සභාපතිත්වය දැරීම තුළ ආසියා ශාන්තිකර කලාපය තුල පමණක් නොව මුළු ලෝකය පුරාම සිවිල්
ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක් ලැබෙන බවද වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එලෙසම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ මෙවැනි ජාත්‍යන්තර සමුළුවකට ශ්‍රී ලංකාවට පැමිණි මෙම විදේශික නියෝජිතයන් හරහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ ජෛව විවිධත්වය වැනි සංචාරක ආකර්ෂණයන් පිළිබඳව ලෝකය දැනුවත් කිරීමට මෙම ජාත්‍යන්තර සමුළුවෙන් විශාල පිටුවහලක් ලැබෙන බවයි. එමෙන්ම ඔහු අවධාරණය කරන්නේ මේ වන විට ශ්‍රී ලංකාව වසරකට මිලියන 11 කට අධික ජාත්‍යන්තර ගුවන් මගීන් ප්‍රමාණයක් මෙහෙයවනු ලබන බවත්, එම ප්‍රමාණය, 2032 වසර වන විට වසරකට ගුවන් මගීන් මිලියන 16ක් ,17ක් පමන වන ප්‍රමාණයකට වැඩිකර ගැනීමට ත් එමෙන්ම දැනට වසරකට මෙහෙයවනු ලබන 64,000 ක් පමන වන ගුවන් යනාා ප්‍රමාණය ද ඉදිරි වර්ෂ තුළ වැඩි කර ගත හැකි වේ යැයි අපේක්ෂා කරන බවයි.
මෙම ජාත්‍යන්තර සමුළුව ඇමතු ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ආසියා හා පැසිෆික් කලාපයේ ගුවන් ආරක්ෂණ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවයි. විශේෂයෙන් කලාපීය රාජ්‍යයන් අතර සමීප සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි වැදගත් කලාපීය රැස්වීම් සඳහා සත්කාරකත්වය ලබා දීම, ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව ලබා දෙන අඛණ්ඩ දායකත්වය සහ කලාපීය හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඇති කැපවීම පිළිබිඹු කරන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. එලෙසම මෙවැනි ජාත්‍යන්තර සමුළු පැවැත්වීම තුළ ශ්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක් ලැබෙන බවත් , එමගින් මෙරට සංචාරක ක්ෂේත්‍රය සහ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඉමහත් පිටුවහලක් ලැබෙන බවත් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය..
මෙහිදී මෙම ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භය වෙනුවෙන් සහභාගී වූ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාට , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් තිළිණයක්ද ප්‍රදානය කරන ලදී. එලෙසම කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා විසින් ආසියා ශාන්තිකර කලාපයේ මෙම මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලබාදුන් , එම මෙහෙයුම් කම්ටුවේ මෙයට පෙර සභාපතීත්වය දැරූ සිංගප්පූරුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ , වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, ග්ලෝරී වී මහත්මියට ද වීශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය..
තවද සිංගප්පූරුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ , වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්, ග්ලෝරී වී මහත්මිය , ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ආසියානු හා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂක ටාඕ මා මහතා , සහ ආසියානු පැසිපික් කලාපයේ ගුවන් ආරක්‍ෂණ වැඩසටහනේ, වැඩසටහන් සම්බන්ධීකාරක, ටෝනී බ්ලැකිස්ටන් මහතා ⁣ද මෙම ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ආමන්ත්‍රණය කළහ.
මෙම සමාරම්භක උත්සවය අවසානයේදී ඒ සඳහා පැමිණ සිටි ප්‍රධාන ආරාධිතයන් සහ සමුළුවට සහභාගි වන රටවල් 25 ක 80 ක් පමන වන නියෝජිතයින් පිරිස එක්ව සමුහ ඡායාරූපයකටද පෙනී සිටියහ.
මෙම ජාත්‍යන්තර සමුළුව මේ මස 26 වැනිදා දක්වා ( 2026/06/26 ) මීගමුව
” ගෝල්ඩි සෑන්ඩ් ” හෝටලේදී පැවැත්වෙනු ඇත.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here