දළුපත, බන්ධනාගාර පරිශ්‍රයේ පොසොන් සිරි අසිරිය . …..

0
54

දළුපත, බන්ධනාගාර පරිශ්‍රයේ පොසොන් සිරි අසිරිය . …..

මීගමුව , දළුපත විශෝධන මධ්‍යස්ථානය හෙවත් දළුපත එළිමහන් බන්ධනාගාර පරිශ්‍රය මෙවරද පොසොන් සිරියෙන් අලංකාර වී, තිබේ. එළඹී ඇති පොසොන් සමය සමගින්, එම බන්ධනාගාර පරිශ්‍රය භක්තිය, කරුණාව, සමාජ යහපත සහ පුනරුත්ථාපනය යන සියලු කරුණු කාරණා එකට එකතුව අර්ථවත් සහ අලංකාර පොසොන් කලාපයක් ලෙස නිර්මාණය කර ඇත. සෑම වසරකම ඉදිකෙරෙන අලංකාර තොරණ මෙවර පොසොන් සමයට ද එම පරිශ්‍රයේ නිර්මාණය කර ඇත. ” තෝදෙයිය බ්‍රාහ්මණ” කතා වස්තුව ඇසුරින් නිර්මාණය කර ඇති මෙම පොසොන් තොරණ මඟින් උතුම් වූ බුදු දහම තුළ ඇති ගැඹුරු පණිවිඩයක් වන දමනය, මෛත්‍රිය, කරුණාව සහ යහපත් මඟට හැරීමේ වටිනාකම ජනතාවට සරලව හා සිත්ගන්නා සුළු ලෙස ඉදිරිපත් කර ඇත.

දළුපත බන්ධනාගාරයේ සහකාර අධිකාරි, එල්. එස්. පී. ලියනගේ මහතාගේ සංකල්පයකට අනුව, බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සියළු රැඳවියන්ගේ එකමුතුවෙන් සහයෝගයෙන් මෙම පොසොන් කලාපය මෙවරද සංවිධානය කර ඇත. රැඳවියන්ගේ අතින් නිමවනු තොරණ, පහන් කූඩු සහ විවිධ කලා නිර්මාණ රැසක් මෙවර මෙම පොසොන් කලාපයේදී ද සැදැහැවත් ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරෙන අතර ඔවුන්ගේ දක්ෂතාව පමණක් නොව, ඔවුන්ගේ ජීවිත ද නව මඟකට හැරවීමට ඇති හැකියාව ද මෙවැනි නිර්මාණයන් තුළින් පෙන්වා දෙයි. එම නිර්මාණ තුළින් ඔවුන්ගේ සිත් තුළ පවතින සෞන්දර්යය, ආගමික හැඟීම සහ යහපත් සමාජයකට නැවත එක්වීමට ඇති බලාපොරොත්තුවද ප්‍රකට වේ.

මෙහිදී පොසොන් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශන හා තරගාවලි, මෙන්ම, මිහින්තලා අනුරූ, භක්ති ගීත ප්‍රසංග, දන්සැල් සහ විවිධ ආගමික වැඩසටහන් මෙම පොසොන් කලාපයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් තුළින් බන්ධනාගාර පරිසරය තුළද ආගමික සංවේදීතාව, එකමුතුකම සහ මනුෂ්‍යත්වය වර්ධනය කිරීමට අවස්ථාවක් ලැබේ. රැඳවියන්ට තම හැකියාවන් යහපත් ක්‍රියාවකට යොමු කිරීමටද මෙය වැදගත් වේ.
මෙම විශේෂ පොසොන් කලාපය 29, 30, 31 යන තෙදින පුරා ක්‍රියාත්මක වන අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ රැඳවියන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලියට නව ජවයක් එක් කරන උතුම් වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය.

සටහන සහ ඡායාරූප .-.
අකිලා නදීෂානි බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here