spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එකඟ නොවී සිටීම සඳහා එකඟවීමට වෑයමක්!

Must read

විද්‍යුත් පුවත්පත් හෙවත් ඩිජිටල් පුවත්පත් වශයෙන්ද හඳුන්වනු ලබන වෙබ් මාධ්‍ය කලාව අද ලෝකයේ අති මහත් දියුණුවකට පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ පවා විද්‍යුත් මාධ්‍යවේදය කලාවක් වශයෙන් පමණක් නොව කර්මාන්තයක් වශයෙන්ද ඉදිරියට පැමිණ ඇත. එම කර්මාන්තයේ නියුතු විද්‍යුත් පුවත්පත්කලාවේදීන්ගේ වෘත්තීමය තත්ත්වයද වර්ධනය වී ඇත.

එසේ වුවද ලංකාවේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. ලංකාවේ විද්‍යුත් පුවත්පත් හෙවත් ප්‍රවෘත්ති වෙබ් මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ නිත්‍යනුකූලභාවය සහ නීති විරෝධීභාවය අතර මායිමේය. සාමාන්‍ය පුවත්පත් සඳහා ආයතන පද්ධතියක්, ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක්, රාජ්‍යය විසින් පිළිගැනීමක සහ වෘත්තීය ස්ථාවරභාවයක් පැවතුනද  විද්‍යුත්පුවත්පත් සඳහා මෙවන් පිළිගැනීමක් ලැබී නැත.

එක් පැත්තකින් රජය විසින් වෙබ් මාධ්‍යවේදීන් පිළිගත් වෘත්තිකයන් පිරිසක් ලෙස සහ වෙබ් මාධ්‍ය කර්මාන්තය පිළිගත් වෘත්තියක් ලෙස ගණන් ගත යුතු අතර අනෙක් අතින් වෙබ් මාධ්‍යයෙහි නිරතවන්නන්ද අනෙක් සෑම වෘත්තියක මෙන්ම වෘත්තිය අචාරධර්ම පද්ධතියකින් මෙහෙයවෙන පිරිසක් බවට පත්විය යුතුය. මේ වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවන අවධියක වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පිහිටුවා ගැනෙන්නේ වෙබ්කරුවන්ගේ පාර්ශ්වයෙන් මේ සදහා මැදිහත්වීම උදෙසාය. විද්‍යුත් පුවත්පත්කලාවෙහි යෙදී සිටින ආයතන සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා මීට වසර එක හමාරකට පමණ පෙර පිහිටුවා ගනු ලැබූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ඇති කරගන්නේ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනයන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා රජයට ඇති බැඳීම යළි සිහිපත් කිරීමේ උත්සාහයක්ද වශයෙනි.

වෙබ් මාධ්‍යකරණයද ඇතුළුව මාධ්‍යකරණය වනාහි පුරවැසියන්ගේ අයිතිවාසිකමකි. එය පුළුල් ලෙස සැලකූ කල්හි අදහස් පළ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම යටතට ගැනෙන්නකි. එම අයිතිවාසිකම රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කොට ඇති අතර එම අයිතිවාසිකමට ගරු කිරීමට, ආරක්ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීමට රජය බැඳී සිටී. එම අයිතිවාසිකම එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මගින්ද පිළිගෙන ඇති අතර අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා රජයට අන්තර්ජාතික බැඳීමක්ද පවතී.

ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක්ම රජය මගින් වාරණය කර ඇති මේ මොහොතේ වේබ් මාධයේ නිරතවන බොහෝ දෙනෙකුද රජය සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විවේචනයකය ඒ නිසා මෙම සංවාදයට ප‍්‍රවේශයක් ලබා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් විය. එවැනි තත්ත්වයක් යටතේ වුවද වෘත්තීය වේබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීම අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සාකච්ඡාවක් ලබා දුන් අතර එම සාකච්ඡාව නොවැම්බර් 14 වන දින පවත්වන ලදී. අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් කුකුසක් මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිර ගිය අතර ඒ සම්බන්ධයෙන් සංගමය නිකුත් කළ නිවේදනය මේ සමග පළවේ. සාකච්ඡාවේ ඉදිරි පියවක් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් අතර හමුවක් පසුගිය 26 වනදා පැවැතිණි. එහිදී මතුවූ කරුණු ඉදිරි සමබිමක ගෙන එන්නෙමු.

වෙබ් අඩවි වාරණය ඉවත් කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න: වෙබ් මාධ්‍යවේදී සංගමය ආණ්ඩුවෙන් ඉල්ලයි

ලංකාව තුළ ලියාපදිංචි කර පවත්වාගෙන යන ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම විදේශයන්හි සිට ක්‍රියාත්මක වන ශ්‍රි ලාංකික ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙත රටේ මහජනතාවට ඇති ප්‍රවේශය අවහිර කරමින් අන්තර්ජාල සේවා සපයන්නන් විසින් වක්‍ර ආකාරයෙන් සිදුකරන වාරණය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බැවින් එම අවහිර කිරීම් වැළැක්වීමට මැදිහත් වී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම ආරක්ෂා කිරීමට කැපවන ලෙස ශ්‍රි ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම ඉල්ලීම කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතාගේ ආරාධනයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නොවැම්බර් මස 14 වනදා සවස ආණ්ඩුවේ නියෝජිතයන් සමග කරන ලද සාකච්ඡාවකදීය.

වෙබ් මාධ්‍යවේදීන් විසින් තම ක්ෂේත්‍රයේ පවතින වෘත්තීය ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙතින් අවස්ථා ගණනාවකදී ඉල්ලීමක් කොට තිබූ අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

දැනට ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් විසින් අනියම් අන්දමින් අවහිර කොට ඇති තම සංගමයේ සාමාජික වෙබ් අඩවි වන ශ්‍රි ලංකා මිරර්, සහ දි ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම විදේශයන්හි සිට ක්‍රියාත්මක කරනු ලබන ලංකා ඊ නිවුස්, ලංකා නිවුස් වෙබ්, කොලම්බු ටෙලිග්‍රාෆ් සහ ටැමිල් නෙට් යන වෙබ් අඩවි මත පනවා ඇති වාරණය ඉවත් කරන ලෙසද, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වශයෙන් ක්‍රියාකරමින් සිටියදී 2010 ජනවාරි මස සිට අතුරුදහන් කරනු ලැබ සිටින ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයා ගැනීම සඳහා අපක්ෂපාතී විමර්ශනයක් ආරම්භ කරන ලෙසද වෙබ් මාධ්‍යවේදී නියෝජිතයෝ මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී ආණ්ඩුවේ නියෝජිතයන් ප්‍රකාශ කළේ අන්තර්ජාලය පරිහරණය කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත්, ප්‍රවෘත්ති වාරණය කිරීම කිසිදු ලෙසකින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත් ය.

‘‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙන්ම ශ්‍රි ලංකාවද පාර්ශ්වකරුවකු වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මගින්ද පිළිගෙන ඇති මානව අයිතිවාසිකමක් බවද, එම අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුවට වගකීමක් ඇති බවද, පුරවැසියන් විසින් අන්තර්ජාලය ඔස්සේ අදහස් පළකිරීමද එම අයිතිවාසිකමට ඇතුළත් වන බවද, ශ්‍රිලංකාව තුළ වෙබ් අඩවි වාරණය කිරීම පිළිබඳව පසුගියදා ශ්‍රි ලංකාවේ මානව හිමිකම් වාර්තාව පිළිබඳව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවද තම අවසානාත්මක නිරීක්ෂණයන්හි දක්වා ඇති බවද වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවේ නියෝජිතයන් වෙත වැඩිදුරටත් කරුණු දැක්වූ බව” ශ්‍රි ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඞී ගමගේ මහතා ප්‍රකාශ කළේය.

පාඨකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සඳහා ශ්‍රි ලංකා කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය ගුරුකොට ගත් ආචාර ධර්ම පද්ධතියක් තම සාමාජිකයන් වෙනුවෙන් සැකසීමටද, ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහා ස්වයං නියාමන ක්‍රමවේදයක් ගොඩනගා ගැනීමටද තමන් දැනටමත් කටයුතු කරගෙන යන බවද වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයෝ මෙහිදී ආණ්ඩුවේ නියෝජිතයන් වෙත දැනුම් දුන්හ.

එසේම ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා සහ වෙබ් මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය භාවය වැඩිදියුණු කිරීම සඳහා වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය හා සම්බන්ධව පුහුණු පාඨමාලා සංවිධානය කිරීමට මෙන්ම මාධ්‍යවේදින්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත නිකුත් කිරිමටද ආණ්ඩුවේ නියෝජිතයෝ එහිදී එකඟතාවයකට පැමිණියේය.

එසේම වෙබ් අඩවි ලියාපදිංචිය විධිමත් කොට කඩිනම් කිරීමටත් එහිදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ සාමාජිකත්වය දරන වෙබ් අඩවි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දැක්විමටද එකඟතාවය පළ විය.

මෙම සාකච්ඡාවේදී වෙබ් මාධ්‍යවේදීන් සහ එම ආයතන මුහුණදෙන ගැටලූ ගණනාවක් පිළිබඳව සාකච්ඡා වූ අතර ඒ පිළිබඳව ප‍්‍රායෝගික ක‍්‍ර‍්‍රියාකාරී සැළැස්මක් සෑදීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා සමග එක්වී කටයුතු කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයෝ එකඟ වූහ.

 ශ්‍රිලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එම සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඞී ගමගේ මහතා, ලේකම් සහ ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියේ කර්තෘ කැලූම් ශිවන්ත සංගමයේ උප ලේකම් හිමාෂි කරුණාරත්න මෙනෙවිය, සමග සංගමයේ උපදේශකවරුන් වන නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ රුවන් ෆර්ඩිනැන්ඩස් යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ff

සමබිම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article