කටාන ප්‍රා.සභාව ” පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය, මහත් හරසරින් අරඹයි

0
493

 

වත්මන් ජනබලවේග රජයේ මූලික අරමුණක් බවට පත්වී ඇති සැලසුම් සහගත දියුණු රටක් ගොඩනගන , පිළිවෙලෙහි තවත් එක් ප්‍රමුඛ වැඩසටහනක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන සතිය නිමිති කරගෙන , කටාන ප්‍රාදේශීය සභාව සංවිධානය කළ “පුනරුදයේ පුරවර” වැඩසටහනේ සමාරම්භය මහත් වූ ගෞරව අභිමාන පෙරදැරිව අද (15/09/2025) පෙරවරුවේදී කටාන, වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්වනු ලැබීය..
මෙම සමාරම්භක වැඩසටහන සඳහා කටාන ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි,මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි නිෂානි ඉරේෂා මහත්මියගේ ආරාධනයෙන්, කටාන ප්‍රාදේශීය ලේකම්, ඒ.එස්.ජේ.පී. අතුකෝරාල, කටාන පොලිස් ස්ථානාධිපති වසන්ත සුදසිංහ, කටුනායක සීදුව නගර සභාවේ සභාපති සුපුන් සාරධ සිල්වා යන මහත්ම මහත්මාවීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් , මෙන්ම ප්‍රාදේශීය සභාවේ සභිකවරුන් සහ සභිකවරියන් පිරිසක්ද එලෙසම කටාන දේශපාලනික ක්‍රියාධරයන් පිරිසක් ද ආරාධිතයන් ලෙස සහභාගි වූහ.IMG 20250916 WA0021IMG 20250916 WA0020 IMG 20250916 WA0019 IMG 20250916 WA0017 IMG 20250916 WA0016 IMG 20250916 WA0015 IMG 20250916 WA0014 IMG 20250916 WA0013 IMG 20250916 WA0012

රාජ්‍ය සේවය,මහජන සේවාවක් ලෙසින්,එය ගමට ගෙන යමින් පොදු ජනතාව වෙත උසස් , කාර්යක්ෂම හා සඵලමත් රාජ්‍ය සේවයක් ඇති කිරීම තුළින් සැලසුම් සහගත රටක් ගොඩනගන වැඩපිළිවෙළෙහි මූලික අදියරක් ලෙසද රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම පළාත් පාලන සතිය හඳුන්වා දිය හැක. ඒ අනුව අද පටන් පුරා සතියක කාලයක් එනම් සැප්තැම්බර් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා වු සෑම දිනකම තේමාවන් කිහිපයක් ඔස්සේ මෙම පළාත් පාලන සතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව ආරම්භක දිනය වන අද දින , ජංගම සේවා දිනය ලෙසත්, හෙට එනම් 16 වැනි දින පරිසර හා රුක් රෝපණ දිනය ලෙසත්, 17 වැඩි දින සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ලෙසත්, 18 වැනි දින ආදායම් ප්‍රවර්ධන දිනය ලෙසත්, 19 වැනි දින සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය ලෙසත් එලෙසම එළඹෙන 20 වැනි දින මහජන උපයෝගීතා හා ක්‍රීඩා දිනය ලෙසත් පැවැත්වෙන අතර මෙම සතියේ අවසාන දිනය වන 21 වැනි දින සහතික පත්‍ර ප්‍රදානය සහ පළාත් පාලන සතියේ සමාප්තිය සටහන් කිරීමේ උළෙලක් පැවැත්වීමට ද නියමිතව ඇත.
තවද අද දින මෙම සමාරම්භක උත්සවය පැවැත් වු කටනේ වලිසිංහ හරිස්චන්ද්‍ර නව ශ්‍රවණාගාර පරිශ්‍රයේදී බොහෝ රාජ්‍ය සේවා කටයුතු සිදුකර ගැනීමට සහ එම සේවා සඳහා උපදෙස් ලබාගැනීමටද කටාන සහ ඒ අවට ජනතාව වෙත අවස්ථාව උදා කර දී තිබේ. ඒ අනුව වරිපනම් සහ නීති සේවා කටයුතු, මිනුම් සහ ප්‍රමිති සේවා කටයුතු, ගොඩනැගිලි සහ පිඹුරුපත් සම්බන්ධිත අයදුම් පත් පිළිබඳ විමසීම් කටයුතුද එලෙසම වෙළඳ බලපත්‍ර පිළිබඳව විමසීම්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු සේම කුඩා ව්‍යාපාර සංවර්ධන කටයුතුද තවද කසල කළමනාකරණ කටයුතු මෙන්ම පුස්තකාල සේවා කටයුතු පිළිබඳවද අදාල රාජ්‍ය නිලධාරීන්ගේ සහාය හා උපදෙස් ලබාගැනීමටද කටාන ජනතාවට පහසුකම් සලසා දී තිබේ. එම කටයුතුවලට සමගාමීව මෙම සතිය පුරාවටම මෙම පරිශ්‍රයේ ඇති කටාන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂ සේවා කුටියේදී දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග පිළිබඳව සායනික වශයෙන් උපදෙස් ලබා දී ශරීර සුවතාවයට ඉවහල් වන යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මක වෙයි.එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති තවත් සේවා කුටියකදී නොමිලේ ඇස් පරීක්ෂා කර, ඇස් හා සම්බන්ධිත සියලුම රෝග පරීක්ෂාවන්ද නොමිලේ සිදු කර ගනිමින් සාධාරණ වූ අඩු මිලකට ඇස් කන්නාඩි ලබාගැනිමේ විශේෂ සේවාවක්ද සලසා ඇත. විශේෂයෙන්ම ස්වයං රැකියා ලාභීන්ගේ සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන එළිදක්වමින් ඒවා අලෙවි කිරීමටද මෙම පරිශ්‍රය තුළ පහසුකම් සලසා දී ඇත. ඒ අනුව රෙදි පිළි, විසිතුරු මල් පැල, කෘතිම වර්ණක රසකාරක අඩංගු නොවන වස විසින් තොර නිවසේ සාදන විවිධ වූ ආහාර පාන වර්ග අලෙවි කරන වෙළඳ කුටි ගණනාවක්ම මේ පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබේ. එලෙස මේ පරිශ්‍රය තුළ ඇති රාජ්‍ය සේවාවන් සලසන සේවා කුටි මෙන්ම ව්‍යාපාරිකයන්ගේ වෙළඳ කුටි සියල්ලම චම්පික හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් ආරාධිතයන්ගේ නිරීක්ෂණයට ලක් වුහ. විශේෂයෙන්ම එහිදී ස්වයං රැකියාලාභීන් සහ කුඩා කර්මාන්ත ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපල සොයා ගැනීමට ඇති ගැටළු පිළිබඳවද චම්පික හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කලේය.
මෙම පළාත් පාලන සතිය ආරම්භ කරමින් රැස්ව සිටි පිරිස ඇමතු චම්පික හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කළේ තම රජයේ ප්‍රතිපත්තිමය තේමාවක් වන “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” රටේ සමස්ත ජනතාව වෙත ලබාදීමේ උදාරතර අරමුණ පෙරදැරිව ඉදිරි කාලයේදී ද මෙවැනි වැඩසටහන් රාශියක්ම ක්‍රියාවට නැන්වීමට නියමිතව ඇති බවයි.
මෙම වැඩසටහන සඳහා සහභාගි වන බොහෝ රාජ්‍ය නිලධාරීන් විශේෂ උනන්දුවකින් සහ කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් කටාන වාසී ජනතාව ද ඉතා උනන්දුවෙන් මෙම සේවාවන් සපයා ගැනීමට පැමිණ සිටින අයුරුද දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here