චාර්ල්ස් තෝමස්ට වචනයක්!

0
183
kadulaගීතය ඔස්සේ චාර්ල්ස් තෝමස් සැබෑ කිතුනු වටිනාකම් පිලිබදව ඔහු නිවැරදියි සිතන පණිවිඩයක් ජනතාව අතරට ගෙන යාමට කාලයක් කිතුනු ගීත ප්‍රසංගයක් පැවත්වුවේය. කතෝලික දේවස්ථානයේ සාම්ප්‍රදායික දේව වන්දනා ක්‍රම වලින් හෙම්බත්ව සිටි අයට මෙය ප්‍රබෝධමත් අත්දැකීමක් විය.
මෑත කාලයේ චාර්ල්ස් තෝමස් තමාගේ “කදුල” ගීත ප්‍රසංගය තුලින් එක ආගමකට කොටු නොවී සමාජය වඩා යහපත් කිරිමේ සංවාදයක නිරතවී සිටියි. මෙය ඉතා ජනප්‍රිය වී ඇති අතර දහස් ගණනින් ජනතාව මෙම ප්‍රසංගයට සහභාගිවන අතර එය විදේශ රටවල පවා පවත්වනු ලබයි. මෙම ප්‍රසංගයේදී ඔහු ඉතා පරිස්සමින් තොරා ගනු ලබන ගීත ගයමින් එවායේ සමාජමය පණිවිඩය පිළිබඳව රසවත් සංවාදයක් කරයි.
මෙම ප්‍රසංගයේදී අපගේ ඔලමොට්ටලකම් වලට සිනාසීමට අප ගීත රසවිඳින ආකාරය ගැනද කතා කරන අතර ඒ සදහා ඉතාමත් ජනප්‍රිය ගීත උදාහරණ ලෙස ගනියි. ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස් සත්‍ය සිදුවීම් ඇසුරින් ගයනා කර ඇති ගීත බොහෝ විට චාර්ල්ස්ගේ ගොදුරු බවට පත්වේ. නිල්වලා ගගේ ඛේදවාචකය ගැන ගැයෙන “ආසයි බයයි,” ගුවන් අනතුර ගැන කියැවෙන “කන්දේ හැපුණු මහ වනන්තරේ” ගීත නිතර නිතර සංවාදයට ගනියි. මේ තුළින් චාර්ල්ස් කියන්නට උත්සාහ කරන්නේ අපේ මිනිස්සුන්ට ගීත රසවින්දනය කිරීමට නොදන්නා බවය. එසේම එභිදී ඔහු එළිමහන් සංගීත ප්‍රසංග නැරඹීමට පැමිණෙන ජනතාවට නින්දිත ලෙස අපහාස කරයි.
චාර්ල්ස් තෝමස් මහතාට වචනයක් කිව යුතුව ඇත. මිනිසුන් ගීතවලට සවන්දෙන්නේ ඒවායේ අරුත වටහා ගෙනම නොවේ. හින්දි ගීත අපේ රටේ ජනප්‍රිය වීම ඊට දිය හැකි හොඳම උදාහරණයයි. එසේම එළිමහන් සංගීත ප්‍රසංග නැරඹීමට විවිධ තරාතිරමේ සහ රසිකත්වයන්ගෙන් යුතු කොටස් පැමිණෙනු ඇත. මේ අතරේ මධුවිත පානයකර කවියකට හෝ නටන පිරිසක් දෙස බලා මළමිනි ගොඩට ගෙන එන විට නටන ජනතාවක් අපේ රටේ සිටිනවා යැයි කීමට තමාගේ කදුල ප්‍රසංගයේදී චර්ලස් තෝමස් පරිස්සම් වන්නේ නම් හොදයි කියා මම කියමි.
අරුණ ශාන්ත නෝනිස්