spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජේ. ආර්.වත් වළෙන් නැගිට්ටවන්න හදන ටියුෂන් ගුරුන්නාන්සේලා !

Must read

political_jrමෙරට හිටපු ප්‍රථම විධායක ජනාධිපතිවරයා මෙන්ම කීර්තිමත් දේශපාලනඥයෙකු වන ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඡායාරූපයක් සහිත මේ ආකාරයේ පෝස්ටර් සිය ගණනක් ඇලවී තිබෙනු පසුගිය දිනෙක දැකගත හැකි වූයේ අනුරාධපුර නගරයේදීය.දැනට ජීවතුන් අතර පවා නැති ජේ. ආර්. ගේ පින්තූරයක් යොදවාගෙන මේ කළ එළි බැස ඇත්තේ කුමන පෝස්ටරයක්දැයි වඩාත් උවමනාවෙන් ඒ පිළිබදව කළ විමසීමකදී මෙලෙස පෝස්ටර් අලවා ඇත්තේ ඔහුගේ ගුණ සැමරුමක් සදහා හෝ යටත් පිරිසෙයින් කිසිදු දේශපාලනික කරුණක් වෙනුවෙන් නොවන බව වටහාගත හැකි විය. එමෙන්ම පෝස්ටරය අලවා ඇත්තේද ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නමින් ස්ථාපනය කර ඇති ගුණානුස්මරණ පදනමකින් හෝ අඩුම තරමින් ජේ. ආර්. ගේ දහදිය මහන්සියෙන් ගොඩනැගුණු එක්සත් ජාතික පක්ෂය විසින්වත් නොවන බව පෙනී ගිය අතර මෙම පෝස්ටරය අලවා තිබුණේ අනුරාධපුර නගරයේ දේශපාලන විද්‍යාව උපකාරක පන්ති පවත්වාගෙන යන ටියුෂන් ගුරුන්නාන්සේ කෙනෙකු විසින් බව දැක ගත හැකි විය.

ජේ. ආර්.ගේ දේශපාලන භාවිතාව පිළිබදව සහතික ලියන්නට අප ඉදිරිපත් නොවන නමුත් ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයෙකු ටියුෂන් ගුරුන්නාන්සේලා විසින් වෙළද භාණ්ඩයක් බවට පත්කරගැනීම හෙළා දැකිය යුත්තක් සේ දකිමි. මින් පෙර චේ , ලෙනින්, කැස්ත්‍රෝ පමණක් නොව ඔබාමාගේ පවා ඡායාරූප සිය පෝස්ටර්වලට රිංගවා එම නායකයින් ‘සේල්ස් රෙප්ලා ‘බවට පත්කර අත්හදාබැලීම් කළ මේ ටියුෂන් ගුරුන්නාන්සේලා දැන් දැන් ලංකාවේ රාජ්‍ය නායකයින්ද සේල්ස් රෙප්ලා බවට පත්කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පෙනෙයි. ලෝක දේශපාලනය තුළ අදටත් බුහුමන් ලබන චේ ගුවේරා වැනි උදාරතර දේශපාලනික චරිත මේ ටියුෂන් ගුරුන්නාන්සේලා විසින් කෙතරම් කැත අන්දමට මාකට් කරන්නේදැයි කිවහොත් නුවර පැත්තේ එක්තරා ටියුෂන් ගුරෙකු සිය ට්‍රේඩ් මාර්ක් එක හෙවත් වෙළද සළකුණ ලෙස මේ වන විටත් යොදාගනිමින් සිටින්නේ චේ ගේ ඡායාරූපයයි. එම ටියුෂන් ගුරා විසින් මුද්‍රණය කරනු ලබන ඕනෑම පෝස්ටරයක, හෑන්ඩ් බිලක හෝ ටියුට් එකකට පවා තම නමට සමානව චේ ගේ පින්තූරයක් මුද්‍රණය කිරීම වරද්දන්නේ නැත . හරියට ‘චේ නම් මමය ‘කියන්නාක් මෙනි.

අප රටෙහි පමණක් නොව ජාත්‍යන්තර දේශපාලන තලයේ නායකයින් පවා සිය බඩවඩවා ගැනීමේ පුද්ගලික අරමුණු වෙනුවෙන් මාකටින් කිරීම වැළැක්වීම පිණිස ක්ෂණික පියවරක් ගැනීම සදහා කාලය එළැඹ ඇති බවක් පෙනෙයි. මන්ද මෙම නායකයින් ඔවුන්ගේ පාලන කාලයන් තුළදී නියෝජනය කළේ එම රට, එහි ජනතාව, ස්වාධිපත්‍යය සහ අනන්‍යතාවයද වන බැවිනි. ඔවුන්ගේ පාලන කාලය තුළ කුමනාකාරයේ හොද නරක පැවැති නමුත් සරලව ගත් කල රාජ්‍ය නායකයෙකු යනු මුලු මහත් රටක් නියෝජනය කරන්නෙකි. ජාත්‍යන්තරය තුළ රාජ්‍ය නායකයෙකු සැලකෙන්නේ රටක් ලෙසිනි. එවන් වූ උසස් තත්වයක ලා සැලකෙන රාජ්‍ය නායකයින්, පන්තිවලට ළමුන් අද්දවන හුදු ඔලුබක්කන් සේ යොදවාගැනීම නීතී රීති යොදවා හෝ වාරණය නොකළහොත් වැඩි කල් නොයාම මගේ ටියුෂන් පන්තියට එන්නැයි කියමින් ජනපති මෛත්‍රීගේ සහ අගමැති රනිල්ගේ පින්තූර දමා ටියුෂන් ගුරුන්නාන්සේලා විසින් තාප්පයක් තාප්පයක් ගාණේ පෝස්ටර් අලවන යුගය වැඩි ඈතක නොවන බවද කිව යුතුය !

නාලක ජීවන්ත දසනායක
www.wayambatoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article