නිරෝගි දිවියකට මඟ පෙන්වන මීගමුව රෝහලේ” රෝගී ආරක්‍ෂණ සතියේ “” ශරීර සුවතා පා ගමන “‘

0
49

 

නිරෝගී ප්‍රජාවක් උදෙසා මීගමුව මහා රෝහලෙන් පණිවිඩයක්…..

ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization – WHO) විසින් සෑම වසරකම සැප්තැම්බර් 17 වැනි දිනට යෙදෙන “ලෝක රෝගී ආරක්ෂණ දිනය” නිමිත්තෙන්, මීගමුව මහා රෝහල විසින් පසුගිය සැප්තැම්බර් 14 වැනිදා සිට 19 වැනිදා දක්වා “රෝගී ආරක්ෂණ සතියක්” ප්‍රකාශයට පත් කළේය. මෙවර එහි තේමාව වූයේ “බෝ නොවන රෝගවලින් වැළකෙමු” යන්නයි.

මෙම සුවිශේෂී සතියේ අවසන් දිනය වූ පසුගිය 19 වැනි සෙනසුරාදා දින, මීගමුව මහා රෝහලේ අධ්‍යක්ෂකවරිය වන විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මියගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත, රෝහලේ සියලු කාර්ය මණ්ඩලවල සංවිධාන ශක්තියෙන් යුතුව එදින පෙරවරැවේ සුවිශේෂී වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබිණි.

එදින උදෑසන රෝහල් පරිශ්‍රයේදී වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්ව උපදේශන ව්‍යායාම් වැඩසටහනක් පැවැත්වූ අතර, මෙම තේමාව සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය අතර පැවති විවෘත චිත්‍ර නිර්මාණ තරගයෙන් ජයග්‍රහණය කළ අයට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද එහිදී සිදු විය.

ඉන් අනතුරුව, රෝහල් පරිශ්‍රයේ සිට කොප්පරා හන්දිය ඔස්සේ මීගමුව බස් නැවතුම් පර්යන්තය දක්වා විශේෂ ශරීර සුවතා පා ගමනක් පැවැත්විණි. “බෝ නොවන රෝගවලින් වැළකීම සහ තම ශරීර සුවතාවය ආරක්ෂා කර ගැනීම” යන තේමාවන් ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පා ගමනට සහභාගී වීම විශේෂත්වයකි. පා ගමනේ යෙදුණු පිරිස මීගමුව බස් නැවතුම් පර්යන්තයේදී බෝ නොවන රෝග වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කරමින් විශේෂ වීදි නාට්‍යයක්ද රඟ දැක්වීය. ඒ සඳහා රෝහලේ වෛද්‍ය , හෙද හෙදි ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වය ලබා දී තිබිණි.

මෙරට ජනතාව සීඝ්‍රයෙන් ගොදුරු වන, ඇතැම් විට මාරාන්තික තත්ත්වයට පත් කළ හැකි බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත්, එම රෝගවලින් මිදෙන්නේ කෙසේදැයි දැනුම ලබා දීමත් මෙම පා ගමනේ සහ මෙමවීදි නාට්‍යය රඟ දැක්වීමේ ප්‍රධාන අරමුණ විය.

වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීගමුව මහා රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය ප්‍රකාශ කළේ, “අපේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක්, විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක වන විශාල පිරිසක් මේ වන විට බෝ නොවන රෝගවලින් පෙළෙන බවයි. එවැනි රෝග වළක්වා ගන්නේ කෙසේද, එම රෝගවලින් වැළකී යහපත් ප්‍රජාවක් බිහි කරන්නේ කෙසේද යන පණිවිඩය ලබා දීම සඳහා මෙම වැඩසටහන මීගමුවේදී මෙලෙස සංවිධානය කළ බව ඇය එහිදී සඳහන් කළාය. එලෙසම ඇය වැඩිදුරටත් අවධාරණය කළේ මෙම පණිවිඩය අප ආර්ථිකයටත්, සමස්තයක් ලෙස අප රටටත් විශාල වැදගත් පණිවිඩයක් බවයි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මීගමුව රෝහලේ සියලු දෙනා කණ්ඩායමක් ලෙස එකමුතුව කටයුතු කළ බවත්, රෝහල අවට ඇති රාජ්‍ය ආයතන සහ සමහර පෞද්ගලික ආයතන පවා සහයෝගය සහ අනුග්‍රහය දැක්වූ බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

රෝහල් අධ්‍යක්ෂකවරිය මෙහිදී මීගමුවේ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කළාය. “අපි හරි කැමතියි රෝගී නොවී, රෝහලට එන්නේ නැතුව ඉන්නවා නම් මේ ප්‍රදේශයේ ජනතාව සියලු දෙනා. ඒ කියන්නේ නිරෝගී වෙනවා නම්, සියලු දෙනා නිරෝගී වෙන්න මේ බෝ නොවන රෝග වළක්වා ගැනීම කියන පණිවිඩය නිසි ආකාරයෙන් තේරුම් අරගෙන තමන්ගේ ජීවිත වලට එය ගලපගන්න කියලා තමයි අපි හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.

මීගමුව මහා රෝහල විසින් සංවිධානය කරන ලද මෙම ශරීර සුවතා පා ගමන සඳහා ද එලෙසම වීදි නාට්‍ය දර්ශනය නැරඹීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය, විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර සිංහ සමාජයේ, මීගමුව ශාඛාවේ ප්‍රධාන නිලධාරීන් වන විශේෂඥ දෘෂ්ටි වෛද්‍ය ඉයන් මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

මීගමුව මහාරෝහල විසින් සංවිධානය කළ මෙම සුවිශේෂී රෝගී ආරක්ෂණ සතියේ වැඩසටහන මාලාව, සමස්ත මීගමුව ජනතාව විශේෂයෙන්ම අනාගතයේදී යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියක් කරා යොමු කිරීමට දරන උත්සාහයක ප්‍රබල ආරම්භක පියවරක් වනු ඇත.

සටහන .-. තුෂාර රොහාන් ප්‍රනාන්දු..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here