පන්සිල් සුරකින ගුණගරුක සමාජයක් උදෙසා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමක්, මීගමුව පුරවරයේදී… ..

0
38

.

“” පඤ්චසීලං රක්ඛන්තං ගුණසම්පන්නං සමාජං ජනේම “” හෙවත් “පන්සිල් සුරකින ගුණගරුක සමාජයක් බිහි කරමු” යන උතුම් අරමුණ පෙරදැරි කරගනිමින්, මිගමුව හා කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දහම් පාසල් සිසු දරු දැරියන්ගේ නිපුණතා ඇගයීම් වැඩසටහනක් පසුගියදා මිගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ සංවිධානය වූ 2026 ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම විශේෂත්වයකි.

උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන සඳහා මිගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දහම් පාසල් රැසක සිසු දරු දැරියන් විශාල පිරිසක් සහභාගී වූහ. ඔවුන් විවිධ නිපුණතා අංශ ඔස්සේ තම දක්ෂතා ප්‍රදර්ශනය කළහ.

සිසුන්ගේ ආගමික දැනුම, කථන, ගායන, රචනා සහ නිර්මාණශීලී හැකියාවන් ඇගයීමට ලක් කිරීම සඳහා කාණ්ඩ 41 ක් යටතේ තරඟ සංවිධානය කර තිබිණි. වයස් කාණ්ඩ සහ ශ්‍රේණි මට්ටම් අනුව සිසුන් කිහිප අංශයකින් ඇගයීමට ලක් කළ අතර, එදිනම ජයග්‍රාහී සිසු දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පිරිනැමීමද සිදු විය.

මිගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දහම් පාසල් 52 කට අයත් සිසු දරු දැරියන් 1,900 කට ආසන්න පිරිසක් මෙම නිපුණතා ඇගයීම් සඳහා සහභාගී වූ අතර, ඉන් 500 ක් පමණ සිසු දරු දැරියන් ජයග්‍රහණ කුසලතා ලබා ගැනීමට සමත් වූහ.

ඇගයීම් කටයුතු සඳහා විද්වත් විනිශ්චය මණ්ඩලයක් යොදවා තිබූ අතර, සියලු තරඟ අංශවලින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන් ඉදිරි දිස්ත්‍රික් සහ සමස්ත ලංකා තරඟ සඳහා සුදුසුකම් ලබා ගත්හ.

දහම් පාසල් දරු දැරියන්ගේ ආගමික, සංස්කෘතික සහ පෞරුෂමය හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම ඔවුන්ගේ නිර්මාණශීලී දක්ෂතා හඳුනාගෙන ඉදිරියට ගෙන යාම මෙම වැඩසටහනේ තවත් වැදගත් මූලික අරමුණක් බව ප්‍රධාන ලේඛකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදුවේ සුමනවංශ නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ ‘විශ්ව කීර්ති ශ්‍රී ශසනතිලක වංසාව තංස සාසනාභිමානීය’ යන ගෞරව නාමයෙන් සුපුජිත මිගමුව කඩොල්කැලේ දුටුගැමුණු විහාරය ඇතුළු සොළොස් මහා විහාරාධිපති, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ සමස්ත ලංකා අධිකරණ සංඝනායක ධූරන්දර කටාන මිගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති අතිපූජ්‍ය මහා හුණුපිටියේ සාසනසිරිතිස්ස නායක ස්වාමීන් වහන්සේ මෙම උත්සව සභාව ඇමතූහ.

මීට අමතරව, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න මහතා, මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරාල මහත්මිය ඇතුළු ආරාධිතයන් රැසක්ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

ඡායාරූප .-.
අකිලා නදීෂානී බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here