පාස්කු නඩු වලින් මූලාරම්භයේදී ම මුදා හරින ලෙස නිලන්ත සහ පූජිත කළ ඉල්ලීම් සිවිල් අභියාචනා මහාධිකරණයත් ප්‍රතික්ෂේප කරයි

0
4

 

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් පවරා ඇති වන්දි නඩුකර පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කල් ඉකුත් වී ඇති බවට ඉදිරිපත් කළ විරෝධතාවය, මූලික නෛතික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස සලකා බැලීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව හිටපු දිසා විනිසුරු සහ වර්තමාන කොළඹ දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා විසින් 2024 දෙසැම්බර් මස 11 දිනැතිව ලබාදුන් නියෝගයට එරෙහිව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයට අවසර ගැනීමේ ඉල්ලීම මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු සහ නිරෝෂා ප්‍රනාන්දු යන මහත්මීන් විසින් අද දින (2026 ජූලි 03) ප්‍රතික්ෂේප කරන ලදී.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩු 182 ක් විටින් විට පූර්ව නඩු විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවල හතරවන සහ පස්වන විත්තිකරුවන් වන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් තර්ක කර සිටියේ තම සේවාදායකයින් දෙදෙනාම පොලිස් නිළධාරීන් වන බැවින් ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාල සිදුවීම සිදු වී මාස 3ක් තුළ පැවරිය යුතු බවයි.

කෙසේ වෙතත්, පැමිණිලිකරුවන් අදාල නඩු පැවරීම බෝම්බ ප්‍රහාරය සිදුවී මාස තුනක් තුළ සිදු නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වන තම සේවාදායකයින්ට එරෙහි වන්දි නඩු මූලාරම්භයේදීම නිෂ්ප්‍රභා කළ යුතු බවත් එම නීතීඥයින් විසින් මූලික විරෝධතාවයක් ලෙස ඉදිරිපත් කර තිබුණි.

එම මූලික විරෝධතාවය සම්බන්ධයෙන් වන කාරණාව නඩු විභාගය මූලාරම්භයේදී ම මූලික නෛතික ප්‍රශ්නයක් ලෙස සලකා විසඳිය යුතු බවට පූජිත ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් විසින් පූර්ව නඩු විභාගයේදී අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් තර්ක කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාල පොලිස් නිළධාරීන් ඇතුලු අනෙකුත් විත්තිකරුවන් වගකිවයුතු බව තම සේවාදායකයින් හට දැනගැනීමට ලැබුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ කටයුතු සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා වලින් බවයි. ඒ සම්බන්ධයෙන් දැනගත් පසු නියමිත කාලය තුළ අදාල දැන්වීම් යොමු කර, සියලු නඩු පැවරීමට පැමිණිලිකරුවන් කටයුතු කර ඇති බවත් ඒ අනුව විත්තිකරුවන්ගේ ඉල්ලීමට ඉඩ ලබා නොදෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් කියා සිටින ලදී.

ඒ සම්බන්ධයෙන් පැවැත්වූ විමසීමෙන් අනතුරුව, ඊට අදාල නියෝගය ලබා දෙමින් දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ගේ විරෝධතාවය නඩු විභාගය අතරතුර ඉදිරිපත් වන සාක්ෂි මඟින් සනාථ කරගත යුතු වන කාරණාවක් බැවින් එය මූලික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස පිළිගත නොහැකි බවත්, ඒ අනුව නඩු විභාගය අවසානයේදී එකී කාරනාව සලකා බැලිය හැකි බවත්ය.

දිසා විනිසුරුතුමන්ගේ එම නියෝගයට එරෙහිව පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන විසින් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයට අවසර ගැනීමේ ඉල්ලීමක් ගොනු කරන ලද අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව අදාල පාර්ශ්ව විසින් ලිඛිත දේශන ගොනු කරන ලදී.

එම ඉල්ලීමට අදාල නියෝගය අද දින ප්‍රකාශයට පත් කළ මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු සහ නිරෝෂා ප්‍රනාන්දු යන මහත්මීන්, මීගමුව දිසා විනිසුරුතුමන් විසින් ලබාදුන් නියෝගය ස්ථීර කරමින් පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන විත්තිකාර පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම නඩුකර වල පැමිණිලිකාර වගඋත්තරකාර වින්දිතයන් වෙනුවෙන් නීතීඥ ඇංජලිකා පෙරේරා මහත්මියගේ උපදෙස් මත නීතීඥ ඉන්දික බණ්ඩාර අබේකෝන්, නීතීඥ උමයංක කූරියන්, නීතීඥ නදීෂා පෙරේරා යන මහත්ම මහත්මීන් සමඟින් ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටින ලදී.

4 වන විත්තිකාර පෙත්සම්කාර පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් නීතීඥ සමාධි ගම්ලත් මහතා ද, 5 වන විත්තිකාර පෙත්සම්කාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතීඥ මධුමතී ජයතිලක මහත්මියගේ උපදෙස් මත නීතීඥ නිසසිරි දයානන්ද මහතා ද පෙනී සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here