කොච්ච්කඩේ, වැල්ලවීදිය සහ කුරණ තව දුරටත් ඩෙංගු අධි අවදානමක ……
ඊයේ දින (02/07/2026) මීගමුව හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාලාවේ දී පැවතී මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදී මීගමුව ප්‍රදේශයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සහ ඩෙංගු රෝග පාලනය සම්බන්ධයෙන් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා විසින් සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කලේය.
ඒ අනුව මිගමුව සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේ ජුලි මස 01 දා වන විට (01/07/2026) මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාපය තුළ ඩෙංගු රෝගීන් 200 ක් පමණ වාර්තා වන බවයි. තවද මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාපයේ කොච්ච්කඩේ, වැල්ලවීදිය සහ කුරණ ඩෙංගු අධි අවදානම් කලාප හෙවත් ඩෙංගු රතු කලාප බවට පත් වී ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එලෙසම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා අවධාරණය කරන්නේ, මීගමුව,වැල්ලවීදිය ඩෙංගු අධි අවදානම් කලාපය තුල පිහිටා ඇති මීගමුව අධිකරණ සංකීර්ණයේ එළිමහන් පරිශ්‍රයේ තිබෙන නඩු භාන්ඩ තුල මෙන්ම මිගමුව ලංගම බස් ඩිපෝව පිහිටි භූමියේ අක්කරයක පමණ වපසරි කලාප භූමිය තුල ගොඩගසා ඇති අබිලි ද්‍රව්‍ය තුලද ඩෙංගු මදුරු කීටයන් හමුවී ඇති බවයි. එලෙසම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ,මේ වන විට මිගමුව බන්ධනාගාරය තුල සිටින රැඳවියන් 40 දෙනෙකු පමන ඩෙංගු රෝගීන් බවට හදුනාගෙන ඇති බවයි. එලෙසම ඔහු මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ
ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අනුපිලිවෙල අනුව එම වාඒතාවේ මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය මේ වන විට 08 වන ස්ථානයේ පසුවන බවයි.
මෙහිදී මීගමුව සංවර්ධන කමිටු රැස්වීම ඇමතූ මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී එච්.ඒ.යූ.කේ. ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මීගමුව බන්ධනාගාරය තුල රඳවා ඇති රැඳවියන්ගේ සංඛ්‍යාව පිළිබඳවද ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බවයි. එනම් බන්ධනාගාරය තුල දැනට රැඳවියන් 800 ක් පමණ රදවා තැබිමට ඉඩ පහසුකම් තිබෙන බවත් එහෙත් මේ වන විට මිගමුව බන්ධනාගාරයේ 2500 ක පමණ රැඳවියන් පිරිසක් රදවා සිටින බවයි. එවැනි තත්ත්වයක් තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඩෙංගු වැනි රෝගී තත්ත්වයක් ඉක්මනින් ව්‍යාප්ත වීම වැළැක්වීම අසීරු වී ඇති බවත් ,මේ වන විට බන්ධනාගාරයේ රැඳවියන් 02 නෙකු ඩෙංගු රෝගය වැළඳීමෙන් මීගමුව මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවත් එමෙන්ම තවත් බන්ධනාගාර රැඳවියන් 06 දෙනෙකු ඩෙංගු රෝගය වැළඳීම නිසා මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් , තවත් උණ රෝගිය වැළඳුණු රැඳවියන් 30 දෙනෙකු පමණ බන්ධනාගාරය තුළ සිටින බවත්, එලෙසම සම්පූර්ණ රුධිර සාම්පල පරික්ෂාවක් හෙවත් ෆුල් බ්ලඩ් කවුන්ටින් පමනක් සිදුකල ( Full Blood Counting ) තවත් බන්ධනාගාර රැඳවියන් 40 දෙනෙකු පමන බන්ධනාගාරය තුළ සිටින බවත්, ඔවුන්ව රෝහල් ගත කිරීමට නොහැකි ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී එච්.ඒ.යූ.කේ. ගුණරත්න මහතා මෙහිදී දැඩිව අවධාරණය කළේ මීගමුව අධිකරණ සංකීර්ණ පරිශ්‍රය සහ මීගමුව බන්ධනාගාරය ඩෙංගු අධි අවදානම් කලාප හෙවත් ඩෙංගු රතු කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි.
ඊයේ දින දහවල් (02/07/2026) පැවැති මෙම මීගමුව , සංවර්ධන කමිටු රැස්වීම, එහි සම සභාපතිවරුන් වන මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම සංවර්ධන කමිටු රැස්වීම සඳහා මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි, නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ යන මහත්ම මහත්මාවීන් ඇතුළු පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය ආයතන වල ප්‍රධාන නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු





















