පොසොන් පොහොයට පසු දින, එනම් පසුගිය ජුනි මස 30 වැනි දින (30/06/2026) මීගමුව අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ විශේෂිත දන්සැලක් පැවැත්වුනා. මේ දන්සැල හරිම අපූරු සහ වෙනස්ම විදිහක දන්සැලක්. අපේ රටේ විවිධ ප්‍රදේශවල පවත්වන මහා දන්සැල් අපි කවුරුත් දැකලා තියෙනවා. බොහෝ දන්සැල් වලින් ජනතාවට බෙදා දෙන්නේ විවිධ විදිහේ ආහාර පාන වර්ග. හැබැයි මේ දන්සැලෙන් ජනතාවට බෙදා දුන්නේ ගෙවතු වගා පැළ . ගෙවතු වගා පැල, කියන්නේ එළවළු පැල, පළතුරු පැල සහ ඖෂධ පැල වර්ග . 1000 කට වැඩි ගෙවතු වගා පැල ප්‍රමාණයක් එදින ,මේ දන්සැලෙන් ජනතාවට බෙදා දුන්නා.
මීගමුව නීතිඥ සංගමය 02 වන වරටත් සංවිධානය කළ මේ දන්සැල තුලින් මීගමුව වැනි නාගරික ප්‍රදේශයක ජීවත්වන ජනතාවටත් තමන්ගේ ගෙවත්තේ එළවළු, පළතුරු, ඖෂධ , පැළ වගා කරන්න යමි දිරි ගැන්වීමක් ලැබුණා. ඉතින් ආන්න, ඒ දිරිගැන්වීම නිසාම තමයි, මේ දන්සැලට සහභාගි වුනු ජනතාව ගොඩක් ලොකු උනන්දුවකින් මේ ගෙවතු වගා පැළ තමන්ගේ නිවසට අරන් ගියේ.
මීගමුව නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක අබේසේකර මහත්මයගේ සහ , එහි ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික ද සිල්වා මහත්මයාගේ ත් මූලික සංකල්පනාවකට අනුව තමයි මේ වගේ ගෙවතු වගා පැළ දන්සැලක් පොසොන් පොහොය නිමිති කරගෙන මේ විදිහට පවත්වන්නට කටයුතු සංවිධානය වුනේ.
ඉතින් මේ දන්සැලට පැමිණි සෑම කෙනෙකුටම තමන් කැමැති එළවළු පැලයක් හෝ පළතුරු පැලයක් එහෙමත් නැත්නම් ඖෂධ පැලයක් හෝ තෝරා ගන්න අවස්ථාව සලසලා දීලා තිබුනා.
ගෙවතු වගා පැළ දන්සැලට සමගාමීව මීගමුව අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේම අයිස්ක්‍රීම් දන්සැලකුත් , මීගමුව නීතිඥ සංගමය මගින් සංවිධානය කර තිබුණා. ඉතින් මේ දන්සැලට සහභාගි වෙන අයට ප්‍රණීත අයිස්ක්‍රීම් එකක රසය විඳින අතරේ තමන්ට ප්‍රයෝජනවත් වෙන, තම ගෙවත්තේ වගා කල හැකි වටිනා ගෙවතු වගා පැලයක් අරන් යන්න ලැබීම හරිම සුවිශේෂී අත්දැකීමක් වුනා .
ඒ වගේම මේ සුවිශේෂි දන්සැලේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස අතිරේක දිසා විනිසුරු දුලානී අමරසිංහ මහත්මිය සහ අතිරේක මහේස්ත්‍රාත් විනිසුරු සුභානී අබේසේකර මහත්මිය සහභාගී වීමත්, මීගමුව නීතිඥ සංගමයට ලොකු ශක්තියක් වුණා.
මේ දන්සැල පවත්වපු පසුගිය ජුනි 30 වැනි දා සතියේ වැඩ කරන දිනයක් වූ බැවින්, ඒ දිනයේ අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු, ඒ කියන්නේ එදින සවස 3.30 ට පමණ මේ දන්සැල ආරම්භ වුනා. ඉතින් මීගමුව නීතිඥ සංගමයේ බොහෝ සාමාජික නීතිඥ මහත්ම මහතුමාවීන් විශාල පිරිසක් මෙම දන්සැලේ සංවිධාන කටයුතු වලට ක්‍රියාශීලීව දායකවුනු ආකාරය දැකගත හැකි වුනා.
මෙම සුවිශේෂී දන්සැල, මීගමුව අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පැවැත්වෙන අවස්ථාවේදී, ඒ අසල මාර්ගයේ පයින් ගමන් කළ විදේශීය සංචාරකයන්ට ද එම රසවත් අයිස්ක්‍රීම් ලබා දුන්නා, ඉතින් ඒ විදේශීය සංචාරයන්ටත් එම අවස්ථාව ඉතාම සතුට දනවන සුවිශේෂී අත්දැකීමක් බවට පත් වී තිබු ආකාරය දැක ගත හැකි වුනා.
ඉතින් මේ දන්සැලට සහභාගි වුණු හැම දෙනෙකුම ප්‍රකාශ කලේ, මීගමුව නීතිඥ සංගමය මගින් පවත්වපු මේ ගෙවතු වගා පැල දන්සැල නම් ඉතාම උතුම් සද් කාර්යයක් වන බවයි.
සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු





























