spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිටිපන පාස්කුවේ ‘ජේසු ‘

Must read

මේ එළඹ තිබෙන්නේ චතාරික සමය හෙවත් පාස්කු කාලය නිසා, පාස්කු නාට්‍ය පිළිබඳව කිතුනුවන් මෙන්ම නාට්‍ය කළාවට ලැදි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මෙරට පාස්කු නාට්‍ය ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී  මීගමුව-පිටිපන  පාස්කු නාට්‍ය සම්ප්‍රදායට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.  පිටිපන පාස්කු නාට්‍යයේ ජේසුගේ  චරිතයට හත් වතාවක් පන පොවා ඇති  රංගවේදි අජිත් කුසුම්සිරි මහතා  විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකි.එලෙසම ඔහු මීගමුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විද්‍යා ගුරුභවතෙකි. මීගමුව මාරිස්ටෙලා විදුහලේ වර්තමාන ගරු නියෝජ්‍ය විදුහල්පතිවරයා වන්නේද ඔහුයි. පහතින් පළවන්නේ  අජිත් කුසුම්සිරි මහතා සමඟින්  කළ කෙටි පිළිසඳරකි.

ඔබ , ගැන විස්තර ටිකක් කෙටියෙන් කිව්වොත් ?

මම උපන්නේ 1966 පෙබරවාරි මාසේ 12 වැනිදා. මගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙක්  ,ගම දන්කොටුව. ඔහු බෞද්ධ ආගමේ. මව ගුරුවරියක්. මවගේ ගම තමයි පිටිපන . ඇය කතෝලික. ඒක නිසා මගේ ආගමත් කතෝලික උනා. මට සහෝදර සහෝදරියෝ නැහැ. මම පවුලේ එකම දරුවා. සාමාන්‍ය පෙළ දක්වා ගියේ පිටිපන මහා විද්‍යාලයට. ඊට පසු උසස් පෙළට විද්‍යා විෂයන් කරන්න වෙන්නපුවේ ජෝසප්වාස් විද්‍යාලයට ගියා. උසස් පෙළ සමත් වෙලා ,කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වුණා. එතනින් විද්‍යාවේදී ගෞරව උපාධියක් ලැබුණා. ඊට පස්සේ 1995 වසරේ   ගුරුවරයෙක් විදිහට මාරිස්ටෙලා විද්‍යාලයට පත්වීම් ලැබුණා.2018 වසරේ මම එහි නියෝජ්‍ය විදුහල්පති බවට පත්වුණා.මගේ මව ගුරුවරියක් වීම නිසා, ගුරු වෘත්තියට පිවිසීම තමයි, මගෙත් අනාගත බලාපොරොත්තුව වුණේ .

ඔබ, පාස්කු නාට්‍ය කලාවට එහෙම නැත්නම් රඟපෑමට යොමු වුණේ  කොහොමද ?

මම අහල තියෙනවා මගේ මවගේ  පාර්ශවයේ අය නම් එවකට පිටිපන ග්‍රාමයේ වේදිකාගත වුණු හැම්ලට් සහ ජුවානාදාස් කියන නාඩගම් සම්ප්‍රදායට එන නාට්‍ය වලට සම්බන්ධ වුනා කියලා. මං කුඩා කාලයේ පාස්කු නාට්‍යයක දේවදූතයෙක් විදිහට රඟපෑවා. ඒ අවස්ථාව පමණයි මගේ කුඩා කාලයේදී මා අතින් සිදුවුණු එකම කලා කටයුත්ත. පිටිපන විදුහලේ, ඉගෙන ගන්න කාලේදී වුණත් මම කලා කටයුතුවලට සම්බන්ධ උනේම නැහැ. උසස් පෙළ කරන්න ජෝසප්වාස් විදුහලට ගියත් එතැනදී මම කිසිම කලා කටයුත්තකට  සම්බන්ධ වුණේ නැහැ, . ජෝසප් වාස් එකේදී   මම ක්‍රීඩා වලට යොමු වුණා. මීටර 100 , මීටර 200 සහ උස පැනීම වාගේ ඉසව් වලට මම සහභාගි වුණා. කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ විතර වාගේ ඉගෙන ගන්න කාලේ නිවාඩුවට පිටිපන ගමට ආපු වෙලාවේ තමයි නාට්‍ය කලාවට යොමුවීමට අවස්ථාවක් ලැබුණේ.

ඔබ කියන්නේ නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට  වුණේ අහම්බෙන් කියලද ?

ඒක ඉතින් අහම්බෙන් කියලා කියන්නත් බැහැ.මොකද මම කැම්පස් එකේ දෙවැනි  වසරේ වගේ ඉන්න කාලේ,  අපේ ගමේ තිබුණා, රාජ්‍ය නොවන සංවිධානයක්   “පිටිපන ධීවර කේන්ද්‍රය” කියලා.ඔය කේන්ද්‍රය මඟින්  වසර දෙකක නාට්‍යකරණ පාඨමාලාවක් පැවැත්වූවා.ඒ පාඨමාලාව පවත්වන්න මූලික වුනේ සහ එය සංවිධානය කළේ පිටිපන ග්‍රාමයෙන් බිහිවුනු අති දක්ෂ කලාකරුවෙකු වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණ ගුරුවරයෙකු වන මෙරිල් පීරිස් මහතායි.ඔහු මේ වෙද්දි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ  කථිකාචාර්යවරයෙක්. එලෙසම ඔහු තමයි මේ වෙද්දි පිටිපන පාස්කු නාට්‍ය අධ්‍යක්ෂකවරයා. ඉතින් මමත් ඒ පාඨමාලාවට සහභාගි වුණා. ඒක මෙහෙය වුයේ නාට්‍ය හා රංග කලාව ගැන හසල අත්දැකීම් තිබුණු මහා කලාකරුවෙක් වන ජයලාල් රෝහණ  කලාකරුවා සමඟ වේදිකා පසුතල නිර්මාණය සහ වේදිකා නාට්‍ය ඇඳුම් ආයිත්තම් පිළිබඳව හසල  අත්දැකීම් තිබුණු රොහාන් සමරදිවාකර කියන කලාකරුවන් දෙදෙනා විසින්. ඔය පාඨමාලාව කරලා අවසන් වෙද්දී වේදිකා නාට්‍ය ගැන හොඳ දැනුමක් වගේම  විශාල අත්දැකීම් ප්‍රමාණයකුත් අපිට ලැබුණා. එතකොට ජයලාල් රෝහණ අයියාට එච්චර ජනප්‍රියත්වයක් තිබුනෙ නෑ.  අපි මුලින්ම රඟපෑවේ වීදි නාට්‍යවල .ඔය කාලෙ තමයි, ජයලාල් අයියා  ” ලෝකා  ”  කියලා වේදිකා නාට්‍යයක් නිර්මාණය කෙරුවේ. ඒකට අපිත් සම්බන්ධ වුණා.  ඔය කාලවකවානුව ගත්තහම 1988 සිට 1991 වගේ කාලේ. අපිට ඒ වෙලාවේ ⁣ජේ.වී.පී. කාරයෝ කියලා ගමේදී සෑහෙන්න ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කාලයේ ජේ.වී.පී යට විශාල ප්‍රශ්න ගණනාවක් තිබුණු කාලවකවානුවක්. ඉතින් ඔහොම ඉන්නකොට මම විවාහ වෙලා, ගුරුවරයෙක් විදිහට සේවය කරනකොට තමයි අපේ පිටිපන දේවස්ථානයට පැමිණිලා හිටපු සිස්වාන් කෲස්  කියන මීසම් පාලක පියතුමා මට ආරාධනා කෙරුවේ පිටිපන පාස්කුවේ ජේසුතුමන්ගේ  චරිතය රඟපාන්න එන්න කියලා. එහෙම තමයි මම පිටිපන පාස්කු නාට්‍යයට සම්බන්ධ වුණේ.

  ජේසුතුමන්ගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබෙද්දී, ඒ  චරිතය රඟපාන එක ගැන යම් බියක් සැකක් ඇති වුනේම නැද්ද ?

මට නම් එහෙම බියක්  ඇති වුණේ නැහැ. නමුත් මගේ මවයි බිරිඳයි දෙන්නම කැමති වුනේම නැහැ, මම මේ චරිතය රඟපානවාට. මොකද ඒ වෙද්දි සමාජය තුළ කතාබහක් තිබුණා, ඒවගේම මතයක් තිබුණා,  මේ චරිතයට පණ පොවන නළුවන් අකාලේ මිය යනවා කියලා. ඒකට සාක්ෂිත් තිබුණා.  ලංකාවේ නිර්මානය වුණු ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ ජේසුතුමාගේ චරිතය රඟපාපු  අග්‍රගන්‍ය සිනමා නළු විජය කුමාරතුංගයන් චිත්‍රපටය තිරගත වීමට පෙරම  ඝාතනය වෙනවා.

ලෝකයේ වෙනත් රටවලත්  මේ චරිතය රඟපාපු අය අකාලයේ මිය ගිහිල්ලා තියෙනවා කියලා අහලා තියෙනවා.නමුත් මම නම් බියක් ඇති කරගත්තේ නැහැ.මොකද මම මේ චරිතය රඟපාන්නේ මගේ වෘත්තිය විදිහට නෙවෙයි. නළුවෙක් එහෙම නෙමෙයි ඔහුගේ වෘත්තිය රඟපෑම නිසා ඔහු ලැබෙන ඕනෑම චරිතයක් රඟපානවා , නමුත් බොහෝ වෙලාවට නළුවෙක් ක්‍රිස්තුමන්ගේ චරිතය රඟපෑවා කියලා ඔහුගේ ජීවිතය තුල අධ්‍යාත්මික වශයෙන් වෙනසක්   ඇතිවෙන්නේත් නැහැ ඇති කරගන්න උත්සාහ කරන්නේත් නැහැ. මම වෘත්තිමය නළුවෙක් නොවන නිසා මම නම් හිතන්නේ මේක මගේ ජීවිතයට ලද දේව කැඳවීමක් කියලා. මම ජේසුතුමාගේ චරිතය රඟපාද්දී මගේ ජීවිතය තුළ විශාල වෙනස්වීමක් ඇතිවෙනවා. මම රඟපාන්නේ  මගේ මනස තුළ දැඩි අධ්‍යාත්මීක පරිවර්තනයක් සමඟින්. ඒ කාලය තුළ මම දෙවියන්ට පෙරට වඩා ලං වෙනවා කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් පාස්කු සමය එහෙම නැත්නම් චතාරික කාලය පටන් ගන්න කොට මම හොඳ පාපොච්චාරණයක් කරලා, ඒ කාලෙට මම සූදානම් වෙනවා.ඒ දවස් 40 මම එක්වරු ශීලය ආරක්ෂා කරනවා. ආගමානුකූලවම කටයුතු කරන්න උත්සුක වෙනවා.නොදැනුවත්ව වැරැද්දක් සිද්ධ වුණත්, හිතාමතාම වරදක් වෙන්න ඉඩක් තියන්නේ නෑ. ඉතින් මම බොහොම නිදහසින් අධ්‍යාත්මික පරිවර්තනයක් සමගින් ඒ චරිතය නිරූපණය කරනවානම් මගේ ජීවිතය ගැන එහෙම අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ ,කියලයි මම නම් හිතන්නේ.

 ඔබ මේ වෙනකොට පිටිපන පාස්කු නාට්‍ය සම්ප්‍රදාය ගැන  යම් ස්වයං අධ්‍යනයක් කර තිබෙනවද ?

ඔව්,මම පිටිපන පාස්කු නාට්‍ය  සම්ප්‍රදායේ ආරම්භය සහ වර්තමානය  සම්බන්ධව යම් දැනුවත්භාවයක් තියෙනවා. මම හිතන විදිහට ඒ වගේම අහලා තියෙන විදිහට අපේ පිටිපන පාස්කු නාට්‍ය සම්ප්‍රදායේ තමයි වඩාත්ම පෞරාණික නාට්‍ය පිටපත තියෙන්නේ. පිටිපන පාස්කු නාට්‍ය සම්ප්‍රදායේ ආරම්භය වර්ෂ1800 ගනන් වලට දිව යනවා. දැන් ඔය පිටිපන දේවස්ථානය ඉදිරිපිට තියෙන පාස්කු පෙන්වන මණ්ඩපය පවා හදලා තියෙන්නෙත් වර්ෂ 1800 ගනන් වලයි. ඒක නිසා තමයි ඒ මණ්ඩපය මේ වෙද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින්  සංරක්ෂිත  පෞරාණික ස්ථානයක් බවට නම් කරලා තියෙන්නේ. මේ පාස්කු නාට්‍යය ආරම්භක කාලයේ නාට්‍ය පෙන්නලා තියෙන්නේ රූකඩ මඟින්. මේවා නූල් වලින් චලනය වන රූකඩ නෙවෙයි. චරිතයට අදාළ රූකඩ අත් වලට දාගෙන, ඉන්පසු ඒ අත් ඇතුළෙ තියෙන රූකඩය චලනය කරලා , මණ්ඩපයේ තාප්පෙන් ඉහළට ඔසවලා  තමයි මේ පාස්කු නාට්‍ය ඒ කාලේ පෙන්නලා තියෙන්නෙ. ශබ්ද විකාශන යන්ත්‍ර තිබිලත් නෑ, හයියෙන් කෑගහලා තමයි නාට්‍යයේ දෙබස් කියලා තියෙන්නෙත්.  පසුව 1960 සිට 1970 දශකයේ අවසාන කාලයේ මේක සජීවීව රඟ දක්වලා තියෙනවා, නළුවන් පමණක් යොදා ගෙන. පාස්කු නාට්‍යයේ එන කාන්තා චරිත ඒ කියන්නේ මරියතුමියගේ චරිතය වගේ කාන්තා චරිත රඟ දක්වලා තියෙන්නෙත් නළුවෝ විසින්මයි.ඉන් පස්සේ 1970 දශකයේ මැද සිට මේ පාස්කු නාට්‍ය රඟ දක්වලා තියෙනවා මුළු ගම පුරාම. වාහන වලින් ගිහිල්ලා පාද නමස්කාරය  විදිහට  ගමේ තැනින් තැනට ගිහිල්ලා ඒ  ස්ථානවලට ගැලපෙන ඒ අවස්ථාව එහිදී රඟ දක්වලා තියෙනවා. පාස්කුවේ අවසාන කොටස තමයි, දේවස්ථාන මණ්ඩපයේ රඟ දක්වලා තියෙන්නේ. මමත් ඔය කාලේ මගේ කුඩා අවදියේ දේවදූතයෙක් විදිහට ඔය පාස්කු නාට්‍යයේ රඟපාමින් ගම. පුරාම ගිහින් තියෙනවා. 1980 දශකයේ සිට තමයි , අද  රඟ දක්වන ආකාරයට , අලුත් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන, ශබ්ද උපක්‍රම සහ සංගීතමය අංග ඇතුළු බොහෝ අලුත් දේ එකතුවෙලා පාස්කු නාට්‍ය රඟ දැක්වෙන්නේ.

පිටිපන පාස්කු නාට්‍යවල  ජේසුතුමාගේ චරිතය  ඔබට පෙර රඟපාපු නළුවන් ගැන මොකද හිතෙන්නේ? 

ඇත්තෙන්ම කියනවා නම් ඒ අය මට වඩා දක්ෂ අය. ඒවගේම මේ පාස්කු නාට්‍යය වෙනුවෙන් මට වඩා ගොඩක් කැපකිරීම් කරපු අය .මුලින්ම මේ පාස්කු නාට්‍යයේ ජේසුතුමාට රඟපාලා තියෙන්නේ ප්‍රැන්සිස් ප්‍රනාන්දු කියන දක්ෂ කලාකරුවෙක්.  ඒ කාලයේ මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සල්මන් ප්‍රනාන්දු කියන  තවත් දක්ෂ කලාකරුවෙකු විසින්. පසුව ජේසුතුමාගේ චරිතය රඟපාන්නේ , ස්ටීවන් ලියනගේ . ඔහු ඉතාමත් දක්ෂ කලාකරුවෙක්. ඔහු රඟපාන මුල් කාලයේ මේ නාට්‍යය අධ්‍යක්ෂණය කෙරුවේ ,පිලීෂියන් ප්‍රනාන්දු කියන කලාකරුවා. ඔහුගෙන් පස්සේ මේ නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමත් භාරගත්තේ ඒ වෙද්දි ජේසුතුමාට රඟපාන ස්ටීවන් ලියනගේ කියන කලාකරුවාමයි. පසුව ඔහු රඟපෑමෙන් ඉවත් වෙලා ජේසුතුමාගේ චරිතය මම රඟපාන්න ආවට පසුවත් පාස්කු නාට්‍යය අධ්‍යක්ෂණය කිරීම කලා.  දැනට වසර හතරකට පමණ පෙර සිට තමයි අපේ පිටිපන ප්‍රදේශයෙන් බිහි වූ තවත් ඉතාම දක්ෂ අග්‍රගන්‍ය කලාකරුවෙක් වන සහ ඉංග්‍රීසි භාෂා කච්චිකාචාර්යවරයෙක් වන මෙරිල් පීරිස්  මහත්මා මේ පාස්කු නාට්‍ය අධ්‍යක්ෂණය කිරීම භාරගත්තේ.  මම හිතන විදිහට මේ නළුවන් සහ අධ්‍යක්ෂකවරු ඇතුළු සියලුම කලාකරුවන්   විශාල හැකියාවන් තියෙන දක්ෂතා පෙන්නුම් කරන සහ මේ වෙනුවෙන් විශාල කැප කිරීම් කරලා තියෙන අය.

අනාගතයේදී  ඔබේ දරුවන්ව මේ පාස්කු නාට්‍යයේ රඟපෑමට යොමු කරන්න අදහසක් එහෙම නැද්ද?

එයාලාට කැමැත්තක් තියෙනවා නම් අනාගතයේදී එයාලා මේ පාස්කු නාට්‍යවලට සම්බන්ධ වෙයි.මට ඉන්නෙ දු වයි  , පුතයි. පුතා මේ වෙද්දි තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධිය්ක් හදාරනවා.දියණිය තාම අවේ මරියා විදුහලේ උසස් පෙළට ඉගෙන ගන්නවා.එයාලගේ කැමැත්ත අනුව එයාලාට කැමති  යහපත් දෙයක් කරන්න නිදහස තියෙනවා. මම එයාලට බලපෑම් කරන්න සූදානම් නැහැ. දැන් මගේ වයස අවුරුදු 57 ක් වෙනවා. පාස්කු නාට්‍ය පැත්තෙන් ගත්තහම මගෙන් පසු ජේසුතුමාගේ චරිතය රඟපාන්න, දැනට පාස්කු නාට්‍යයේ ජුවාම් ගෝලයාගේ චරිතය අති දක්ෂව රඟපාන ” මයුර ” නමැති තරුණ කලාකරුවා, වඩාත් සුදුසු යැයි මා  විශ්වාස කරනවා. ඒවගේම මගෙන් පසු ඔහු ජේසුතුමාගේ චරිතය ඉතා හොඳින්ම රඟපාවි කියා   මා බලාපොරොත්තු වෙනවා

 

 

සාකච්ඡා සටහන – තුෂාර රොහාන් 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article