spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෝලියර් සහෝදරය ඔබට සුභ ගමන් !

Must read


ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පෝලියර් ගුණවර්ධන සහෝදරයා⁣ව මාගේ ජීවිතයේ විශේෂ කාලයකදී ඇසුරු කරන්නට ලැබීම එක්තරා භාග්‍යයක් කොට සලකමි. 90 දශකය සහ එම දශකයේදී වාමාංශික දේශපාලනය පිළිබඳව අප තුළ වූ ආකර්ශනය, පිබිදීම අපතේ නොයන්නට බලපෑ විශේෂ පුද්ගලයෙකු ලෙස පෝලියර් ගුණවර්ධන සහෝදරයා මෙන්ම ගුරු මැදුර සංධිස්ථානයක් වූ බව කෘතගුණව සිහිපත් කරන්නේ ඔහු⁣ගේ වියෝව සංවේගජනක මො⁣හොතක් බැවිනි.

පෝලියර් ගුණවර්ධන සහෝදරයා මට මුණ ගැසෙන්නේ 1999 දී පමණ දියැස කණ්ඩායම විසින් කැඳවන ලද පුළුල් දේශපාලන එකතූන් වලදීය. ආරම්භයේ පටන්ම එම හමුවීම් පැවැත්වූයේ බේරේ වැව මායිම්ව පිහිටා තිබූ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගම් ශාලාවේදීය.

එහි ප්‍රධාන ලේකම් ලෙස පෝලියර් සහෝදරයාත් ශ්‍රී ලංකා ගුරු සංගමයේ දිස්ත්‍රික් සාමාජිකයින් රැසක් පළමුවරට හඳුනාගත්තේ ගුරු මැදුරේ පැවති ⁣එම වැඩපිළිවෙල තුළදීයි. දියැස කණ්ඩායම, ලංකා ගුරු සංගමය ,  බැංකු සේවක සංගමය ,  ශ්‍රී ලංකා පරිසර සංරක්ෂකයෝ , සාධුජන රාවය, නව ප්‍රජාතන්ත්‍රවදී පක්ෂය ,
හිරු කණ්ඩායම, නව සම සමාජ පක්ෂය, ආදී වාමවාදී පක්ෂ,වෘත්තීය සමිති,සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම විවිධ දේශපාලන කණ්ඩායම්ද ඒ අතර විය.

මේ සියලු දේශපාලන ධාරාවන් එකතු කරමින් පොදු දේශපාලන ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කරගැනීමේ ලා පුරෝගාමී මෙහෙවරක දියැස දේශපාලන කණ්ඩායමත්, ගුරුමැදුර ආශ්‍රයකරගත් ගුරු සංගමය ඇතුළු වෘත්තිය සමිති කීපයකුත් උත්සාහ දරමින් සිටි වකවානුවක සිදුකෙරුන පූර්ව සාකච්ඡා සඳහා සහභාගීවීමට නිරන්තරයෙන්ම මම ගුරුමැදුරට ආගිය පුද්ගලයෙකු වුනෙමි.

එහිදී ඒ සියලු ක්‍රියාකාරීත්වයන් ශක්තිමත් කිරීමට,වැඩි වර්ධනය කිරිමට පෝලියර් සහෝදරයා සතුවූ දේශපාලන පෙෳරුෂය බලපෑ බව මාගේ හැඟීමයි.

දේශපාලනයද ඇතුළුව බොහෝ විෂයන් සම්බන්ධයෙන් උගතෙකු, ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරයේ සටන්කාමීයෙකු ලෙස මෙන්ම වාමාංශික දේශපාලනයේ අත්දැකීම් බහුල දේශපාලන ක්‍රියාධරයෙකු වුවත්, පෝලියර් ගුණවර්ධන තුළ හොඳම ගුරුවරයෙකු සිටීම ඔහු පිළිබඳව මා වැඩියෙන් සිත්ගත් කාරණයකි.

එමෙන්ම ගුරු මැදුරේ සිදුකෙරුන දේශපාලන සංවාද,ක්‍රියාකාරකම් අතරදී කිසිම දවසක ඔහුට වයසින් අඩු ක්‍රියාකාරීන්ට අසමානව සැලකීම, එතුළින් තමන්ගේ මානය මතුකරගන්නා ආකාරයේ හැසිරීමක් මා ඔහු තුළින් දැක නැත. එබඳු දේශපාලන ක්‍රියාකාරීන් ඒ සමකාලීන සාකච්ඡා වලදී අනන්තවත් මට හමුවී ඇති නමුත් පෝලියර් වැනි ක්‍රියාධරයෙකු සතුවූ ඒ නිරහංකාරකම මා මහත් පරමාදර්ශයක් කොටගත්තෙමි.

ඔහු සතු අත්දැකීම් සම්භාරයත් දැනුමත් කිසි දවසක ඔහුට වයසින් බාල ක්‍රියාධරයන් අතර පරතරයක් නිර්මාණය කිරීමට හේතුවක් කර නොගත්තේය. හැම විටම සියලු වෙනස්කම් මැද සමානයන් සේ හැසිරීමට, ක්‍රියාකිරීමට තරම් දේශපාලන වශයෙන් පරිනතකමක් පෝලියර් ගුණවර්ධන සතුවිය. එම ගුණයම එකල සාමුහික දේශපාලන ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කිරීමටද මහත් සේ රුකුලක් වූ බව මාගේ හැඟීමයි.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ගොඩනැගීමේලා සන්ධානගතව ක්‍රියාකිරීමේදී කැපවී ක්‍රියාකළ හෙතෙම  ඒ ගතයුතු  දේශපාලන ක්‍රියාමාර්ග සඳහා වූ මතවාදී එකඟතා හමුවේ දී සෘජුව පෙනීසිටියේය. එමෙන්ම පෙරමුණු හෝ සන්ධාන ගොඩනැගීමේදී පුළුල් එකඟතා නඩත්තු කරමින් කට්ටිවාදී හෝ ගෝත්‍රවාදී නොවී කටයුතු කිරීමේ දේශපාලන සංස්කෘතියක් ඔහු තුළ තිබුණි. එම නිසාම ගුරු මැදුර එක්තරා කාලයක බෝහෝ ප්‍රගතශීලී දේශපාලන කණ්ඩායම් වල ක්‍රියාකාරකම් බහුල වාමංශික මධ්‍යස්ථානයක් ලෙසද පැවතුණි.

ස්ත්‍රීවාදය පවා බොහෝ වාමාංශිකයින්ට න්‍යායක් පමණක්ව තිබුණ යථාර්තයකදී පෝලියර් සහෝදරයා ඒය සිය ජීවිතයේ පරමාදර්ශී ජීවන භාවිතාවක් කරගත්තේය.

පෝලියර් ගුණවර්ධන අන්අයගේ සිත්ගත් තවත් කාරණාවක් වූයේ ඔහු දේශපාලන මිතුරන් කෙරෙහි දැක්වූ මෘදු ගුණයයි. ඔහු ලඟ ඉන්නා විට ආදරණිය ආමන්ත්‍රණ, විහිලු තහලු, උපැහැරන,යහලුවන් ගැන නිමක් නැති වර්ණනා සියල්ල කැටිවූ මිත්‍රත්වයේ විශේෂත්වයක් අප ඔහුගේ ඇසුරෙන් වින්දෙමු.
ඔහු තුළ  තිබූ ඒ සියලු ගුණ, අපත් ඔහුත් දේශපාලන සම්බන්ධකමට එහා ගිය ගැඹුරු මානව බැදීමකින් වෙලා තිබුණේය.
එවැනි සගයින් විරල කාලයක පෝලියර් සහෝදරය , ඔබගේ නික්මීම කල්වැඩිය.
ඔබට සුබ ගමන් !

කුමාරි ප්‍රනාන්දු

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article