spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මං තට්ටෙ ගෑවේ රන්ජන් නිසා

Must read

rajasinghe-2-118

(12.30pm )රාජසිංහ ලෝලුවාගොඩගේ රුව මේ දිනවල නිරන්තරයෙන් ඔබගේ නෙත ගැටෙන්නේ එක්තරා වෙළෙඳ දැන්වීමක් නිසා. ඒ වගේම සල්සපුනා, සුර දූතයෝ සහ හාර කෝටිය කියන නාට්‍ය ත්‍රිත්වයේම එකිනෙකට වෙනස් චරිත ඔහු විසින් නිරූපණය කරනු ලැබුවා. ඒ වගේම හඬ නළුවකු වශයෙන් ද ලෝලු ඉතාම කාර්යබහුලයි. රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් චිත්‍රපටයේ ආනන්ද බණ්ඩාර ලෙසට චරිත මවන්නෙත් ඔහු. මේ කරුණු කාරණා නිසාම අපට හිතුණා ලෝලුව සරසවියට කැඳවන්න.

ලෝලු කලා ජීවිතය හරිම කාර්යබහුලයි නේද?

ඇත්තෙන්ම මේ කාර්යබහුලකමට මං හරිම ආසයි. කොතරම් බිසී වුණත් කිසිම වෙලාවක මං වැඩවලට යද්දී පරක්කු වෙලා ගිහින් නැහැ. රංගනය, හඬ කැවීම යන අංශ යටතේ නිරන්තරයෙන් මට වැඩ තිබෙනවා. වසර දහ අටක් එක දිගට මං ඩබිං කළා. සතුටුයි මේ අන්දමින් ජීවිතය ගෙවීම ගැන.

මේ දිනවල ඩොක්ටර් නවරියන් තිරගත වෙනවා?

ඔව්. මං එහි ආනන්ද බණ්ඩාර නමැති රෝගී තැනැත්තකුගේ චරිතය කරන්නේ. ඔය චිත්‍රපටය රූගත කරන කාලෙමයි සනත් අබේසේකරගේ අජාසත්ත ෆිල්ම් එක ෂූට් කළේ. මට ඒකටත් කතා කළා. දින ප්‍රශ්නයක් නිසා මට අජාසත්ත අතහැරලා නවරියන් චිත්‍රපටයට එකතුවීමට සිදු වුණා.

ආනන්ද බණ්ඩාර කියන්නේ අභියෝගාත්මක චරිතයක් නේද?

ඇත්තෙන්ම. ඒ චරිතයට අනුව ඇහිපිල්ලම් ගහන්න බැහැ. දර්ශනය කොයිතරම් දිග ද මං ඒ කාල පුරාවටම එහෙම්මම ඉන්න ඕන. එක්තරා දර්ශනයකදී රන්ජන් මගේ ඇහැට ටෝච් එකක් ගහනවා. ඒ වෙලාවෙදිත් ඇහිපිල්ලම් ගහන්නේ නැතුව හිටියා.

රන්ජන් කළ බහුතරයක් චිත්‍රපටවල ඔබ රඟපෑවා නේද?

රන්ජන්ගෙත් මගෙත් මිත්‍රකම ඇරැඹෙන්නේ 1986 අවුරුද්දේ. එතැන පටන් අපි මිත්‍රයෝ. ඔහු මට ඔහුගේ චිත්‍රපටවල චරිතවලට කතා කරනවා. බොහොම හොඳ චරිත ඔහු මට ලබා දීලා තිබෙනවා. මං තට්ටෙ ගෑවෙත් රන්ජන් නිසා.

මගේ මතකේ හැටියට පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයේ?

හරියටම හරි. එහි මං රඟපෑවේ භික්ෂු චරිතයක්. මං ඒ වෙනුවෙන් තට්ටෙ ගෑවා. දිගින් දිගටම තට්ටෙත් එක්ක මට නිර්මාණ ලැබුණා.

ආපසු කොණ්ඩය වවන්න අදහසක් නැතිද?

අදහසක් තිබුණත් වටාපිටාවේ අය ඊට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ මට තට්ටය හොඳයි කියලා. නිර්මාණ සඳහාත් බොහෝ අවස්ථාවලදී තට්ටය ගැළපෙනවා.

ඔබ රඟපෑ ටෙලි සිතුවම් කිහිපයක්ම පසුගියදා විකාශය වුණා?

ඔව්. සල්සපුනා, සුර දූතයෝ, හාරකෝටිය ඉන් කිහිපයක්.

හඬ කැවීමේ වැඩ කටයුතු ගැන සඳහනක් කළොත්?

ඒවා තමයි වැඩිම.

ධර්මාශෝක මාලා නාටකයේ ජගන්නාත්, සිද්ධාර්ථ ගෞතම මාලා නාටකයේ අංජන රජතුමා, සඳට දිවුරා කියන්නම් මාලා නාට්‍යයේ භද්‍රි. ඒවා තමයි දැනට තියෙන්නේ. ශ්‍රද්ධා ගුවන් විදුලියෙත් සිද්ධාර්ථ ගෞතම ප්‍රචාරය වෙනවා. මං එහි සුප්‍රබුද්ධ රජතුමාට හඬ කවනවා. අහස සේ නුඹ අනන්තයි ඇතුළු ගුවන් විදුලි නාට්‍ය රැසකටම හඬ කවනවා.

වසර දහ අටක් එක දිගට හඬ කැවිමේ යෙදුණ රහස කුමක්ද?

අනේ මන්දා. මට මේක දෙවියන් දුන් වරමක් හැටියටයි මං සලකන්නේ.

කොතරම් කාර්යබහුල වුණත් වේදිකාව ඔබ අතහැරලා නැහැ?

වේදිකාව නම් මට අතහරින්න බැහැ. කරපිංචා ඕනෑ වේදිකා නාට්‍ය තමයි බහුලව වේදිකා ගත වන්නේ. ඒ වගේම ආපසු හැරෙන්, සැරද සහෝදර, රෝයල් ඉබ්බෙක් වැනි නාට්‍යවලත් මං රඟපානවා.

වසර ගණනාවක් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල අයකු හැටියට අධ්‍යක්ෂණයට ඔබ පිවිසුණේ නැත්තේ ඇයි?

මං හිතනවා ඒකට මං තවම පරිණත නැහැ කියලා. තව ටිකක් ඒ ගැන හිතලා බලලා ඉදිරියේදී අධ්‍යක්ෂණය ගැන හිතනවා.

හඬ කැවීම් කළ වැඩ සටහන්වල බදු මුදල වැඩි කළා නේද? ඒ ගැන ඔබලාට මොන වගේද දැනෙන්නේ?

මම හඬ කැවීම පමණක් නොවේ, අනෙකුත් ක්ෂේත්‍ර කිහිපයකම කටයුතු කරන නිසා මට ලොකු පාඩුවක් නැහැ. නමුත් හඬ කැවීම පමණක් ජීවිකාව කරගත්තු බොහෝ දෙනෙකුට එම වැඩසටහන් සීමා කිරීම තුළින් බඩේ පහර වදිනවා. වෙනත් රටවල නිර්මාණ හා තරග වැදීමට ඒවාට වඩා උසස් නිර්මාණයි බිහි විය යුතු වන්නේ. නැතුව ඊට තහංචි දාලා හරි යන්නේ නැහැ.

කොහොමද ඔබේ ගෙදර වැඩ කටයුතු?

මගේ ගම මිගමුව. නොවැළැක්විය හැකි කලා කටයුත්තක් හේතුවෙන් මිසක් මං ගෙදර නොයා ඉන්නේ නැහැ. කොපමණ දුර වුණත් කොපමණ මහන්සි වුණත් මං කලා කටයුත්ත නිම වෙලා ගෙදර යනවා. මොකද මගේ අම්මා හොඳටම අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඇයව බලා කියා ගන්නේ මං. ඉතින් ගෙදර දුවන්නේ ඒකයි. අම්මවත් බලාගෙන කලා කටයුතුවල නියැළෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article