මාධ්‍ය වාරණයක් පණවන්නැයි ඉල්ලු හයේෂිකාගේ පාර්ශවයේ නිතිඥවරයාට මහේස්‍රාත්වරියගෙන් කදිම ප්‍රතිචාරයක් ?

0
178

 

ටීචර් අම්මා නොහොත් හයේශිකා ප්‍රනාන්දු නැමැති ටියුෂන් ගුරුවරිය විසින් පහර දුන්නේ යැයි කියන සහ දැනට කොළඹ ජාතික රෝහලේ 21 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින රිතික් ත්‍රිෂාල් නැමැති 21 හැවිරිදි තරුණයා, එම අධ්‍යාපන ආයතනයේ සේවය කරන 24 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සම්බන්ධයෙන් කටාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.

ඒ අනුව එම පැමිණිල්ලට අදාළව එම සිදුවීම සම්බන්ධයෙන් වන ප්‍රථම නඩු විභාගය අද දින (21/05/2025) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ , අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඉදිරියේදී විභාගයට ගැනිණි.

එහිදී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කල නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ මෙම තරුණයාට දන්ඩ නිති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ “ලිංගික අතවරයක් සිදු කිරීම” යන චෝදනාව යටතේ මෙම නඩුව ගොනුකර ඇති බවයි.

එමෙන්ම එම නීතිඥවරයා එහිදී අනාවරණය කළේ පසුගිය 14 වැනිදා (14/05) මේ තරුණයාට පහරදීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී , හයේශිකා ප්‍රනාන්දු නැමැත්තිය ඇතුළු එම පිරිසට මෙම අධිකරණයේදී ඇප ලබා දුන් බවයි.

එහෙත් ඉන් පසුව මෙම තරුණයාගේ මව ඇතුළුව එම පවුලේ අය විසින් මාධ්‍ය හමුවක් පවත්වා ඇති බවත්, එහිදී මෙම අධිකරණය විසින් ලබා දුන් එකී ඇප ලබාදීමේ තීන්දුව ප්‍රශ්න කර ඇති බවත්, එවැනි ප්‍රකාශයන් හරහා මෙම ගරු අධිකරණයේ කටයුතු වලට සහ තීන්දුවලට විශාල බාධාවක් ඇතිවන බවද නීතිඥවරයා අධිකරණය හමුවේ සදහන් කර ඇත.

එම මාධ්‍ය හමුවෙන් පසු තම සේවාදායක පාර්ශ්වයට විශේෂයෙන්ම සමාජ මාධ්‍යන්හී සංසරණය වු අදහස් උදහස් මුද්‍රණ ද්වාරයෙන් සකස්කර අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමටද පැමිණිලි පාර්ශවයේ එම නීතිඥවරයා කටයුතු කළේය.

ඒ අනුව ඔහු අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මේ ආකාරයෙන් මාධ්‍යයන් ඉදිරියට ගොස් මේ තරුණයාගේ මව ඇතුළු එම පාර්ශවයෙන් සිදු කරන අදහස් දැක්වීම් නිසා තමන් නියෝජනය කරන තම සේවාදායක පාර්ශ්වයට අගතියක් සිදුවන බවය.

එමෙන්ම එයින් අධිකරණයේ ගෞරවයටද විශාල හානියක් සහ කැළලක් සිදුවන බවය.

මෙම තත්ත්වය මත පැමිණිල්ලේ නීතිඥවරයා අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ මෙම තරුණයාගේ මව ඇතුළු එම පාර්ශවයට , මින් ඉදිරියට මාධ්‍යයන් ඉදිරියේ කරන අදහස් දැක්වීම් වළක්වාලමින් මෙම අධිකරණය තුළින් වාරණයක් නිකුත් කරන ලෙසය.

මේ අතර මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාර තරුණයා පිළිබඳව විමසු අවස්ථාවේදී එම තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ප්‍රකාශ කළේ ඔහු පසුගිය 14 වැනිදා ( 14/05) රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවත් , ඒ අතරතුර එනම් පසුගිය 17 වැනිදා (17/05) කොළඹ , මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ, වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 100,000 බැගින් වන ශරීර ඇප 02 ක් මත ඔහුව ඇප මත මුදාහැර ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ තරුණයා මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ 21වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද එම නීතිඥවරිය වැඩිදුරටත් එහිදී අනාවරණය කළාය.

මෙහිදී පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා විසින් තරුණයාගේ පාර්ශවයට මාධ්‍ය වාරණයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් කල ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නේ සමාජ මාධ්‍යන් හී පළවන අදහස් සම්බන්ධව තැකීමක් කිරීමට අවශ්‍ය නොවන බවය

තමා මෙම අධිකරණයේදී ලබාදුන් සියලු තීන්දු තීරණ ලබා දී ඇත්තේ නීතියට අනුකූලව බවත්, සමාජ මාධ්‍ය තුළ පළවන දේ සම්බන්ධව තමන් කිසිදු තැකීමක් නොකරන බවද මහේස්ත්‍රාත්වරිය පැවසීය.

එමෙන්ම මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නේ මෙම විමර්ශන කටයුතු නිසි ලෙස සිදු විය යුතු බවත් සමාජ මාධ්‍ය තුළ පලවන අදහස් පිළිබඳව කලබල නොවිය යුතු බවය.

එමෙන්ම මාධ්‍ය ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් ඇති බවත්, මෙවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව මාධ්‍ය වාරණයක් පැනවීමට අවශ්‍ය නොවන බවද මහේස්ත්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කටයුතු නිසි ලෙස සහ සහ නිසි ක්‍රමවේද වලට පටහැනිව සිදුකර තිබීම පිළිබඳව, කටාන පොලිසියට සිය දැඩි අප්‍රසාදය පළ කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධව සිදු කළ යුතු විමර්ශන කටයුතු නිසි ලෙස සිදු කිරීමට කටාන පොලිසියට නොහැකිවි ඇති බවය.

තවද අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය මෙම සිදුවීම සම්බන්ධව මීළඟ නඩු වාරය එළඹෙන ජූලි මස 16 වන (16/07/2025) දිනට කල් තැබීය.

තවද මෙතැන් පටන් මෙම සිදුවීම සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු, මීගමුව කොට්ඨාශයේ , සහකාර පොලිස් අධිකාරිවරයකුගේ (ASP) මූලිකත්වයෙන් සිදුවිය යුතු බවටද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.

අතවරයට පත් තරුණිය හෙවත් පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු නීතිඥවරයාද එලෙසම විත්තිය පාර්ශ්වයේ තරුණයා වෙනුවෙන් ජනනි පෙරේරා නීතිඥවරියද පෙනී සිටින ලදී.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here