spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැටි වලඳකින් ජීවිතයේ සතුට වලඳන සෝමපාල…

Must read

මීගමුව  කෙලින්  වීදියේ   බ්‍රිටිෂ් ඔප්ටිකල්ස්,  සම්පත්  බැංකුව,  සියත  පිනෑන්ස්  ආයතනය  යන  මේ  සියළු  ව්‍යාපාරික  ආයතන   වටකරගත්   රාජපක්ෂ  වලව්ව  ඉදිරිපිට  ඇති  බාල  තහඩු  ගසා    සාදා  ගන්නාලද  මඩුව තුළ  වලං  වෙළඳාම්  කරන   සෝමපාල   වෙළෙන්දෙකු  වන  නමුත්  කපටිකම්  නොදන්නා  අහිංසක  ගැමියෙකි. සෝමපාල   වලං  අතර   සිටිනවිට  අපට ඔහු  නොපෙනෙන  තරම්ය. මන්ද  වලං  සහ  ඔහුගේ  ඇඳුමේ  පැහැයේ සමාන    බවක්  තිබුනු  බැවිනි.  වලං  කඩේ  මුල්ලකට  වී  සිටි   සෝමපාල    කථාබහ  කිරීමට  මුලදී  අදි මදි  කලද   පසුව   අප  හඳුනාගැනීමෙන්  පසුව  ඉතා  ලෙන්ගතුව   තමන්ගේ  වගතුග  ප්‍රකාශකරන්නට  යෙදින.  ඔහු  විවෘතව  අපගේ  ප්‍රශ්ණ  වලට  පිළිතුරු  දුන්නේ  මෙසේය.DSC_0207

සෝමපාල  අයියගෙ   තොරතුරු  ටිකක්  කිව්වොත්…

මගෙ  උපන්ගම  මිනුවන්ගොඩ.  මම  දැන්  ඉන්නෙ  කොච්චිකඩේ.  මගෙ  වයස  අවුරුදු  66යි.  මගෙ  බිරිඳගෙ  නම  සේපාලිකා.  අපිට  දරුවො  3දෙනෙක්  ඉන්නවා.  පුතාල  දෙන්නයි,  දුවල  එක්කෙනයි.  අපේ  තාත්තගෙ  නම  එම්ප්‍රනේරිස්.  අම්ම  නොන්නොහාමි.  ඒදෙන්නම  අද  ජීවතුන්  අතර  නෑ.  මට  හිටියෙ  අක්කයි  අයියයි දෙන්න  විතරයි.  අපි  ඔක්කොම  කළේ   වලං  බිස්නස්  එක  තමයි.  අයියත්  අප අතර නෑ.  අක්ක  ඉන්නව  එයාට  දැන්  වයසයි.  ඒවුනාට  තවමත්  මිනුවන්ගොඩ   පොඩියට  වලං  බිස්නස් එක  කරනවා.

ඔබ  මේ  බිස්නස් එකට  යොමුවුනේ  කොහොමද?

අපේ  පවුලෙ  සියළු  දෙනාම  වලං  බිස්නස්  එක  කළේ   තාත්තගෙන්  ලැබුණු    ආදර්ශය  නිසයි.  මමත්   ඒපාරෙ  තමයි  ගියේ.  පොඩිකාලෙ  ඉඳල  තාත්ත  එක්ක  ඒ  වැඩවලට  සම්බන්ධ  වීම  නිසා  මටත්  ඒ  හුරුව  ඇතිවුනා.  අවුරුදු  18 දි  අපේම   වාහනයකින්  ගිහිල්ල  කඩවලට  වලං  දැම්මා.  මට  දැන්  ඒ  වගේ  මහන්සිවෙල  කරන  වැඩ  කරන්න  බෑ.  ඒක  නිසා  මෙතන  ඉඳගෙන  වලංටිකක්  විකුණගන්නවා.  මෙතෙන්ට  ඇවිල්ලත්  දැං  අවුරුදු12ක්  විතර  ඇති.   මෙතන  මේ  මඩුව  හදල  දීල  මට  උදව්කළේ  මේ  රාජපක්ෂ  වලව්වෙ  හිටිය  අබේසිංහ  මහත්තය.එයා  හුඟක්  හොඳ  කෙනෙක්.  රාජපක්ෂ  පවුලෙ  අය  තමන්  සතුව  තිබුණු  දේවල්  අනුන්ට  බෙදා  දුන්නු   යහපත්  උදවිය.

කොහොමද  ඔබේ  ව්‍යාපාරෙ   විස්තර..

රටේ  තත්වෙ  එක්ක  ගත්තහම  අමාරු  කාලයක්  තියෙන්නෙ.  වලං  ගේන්න  ලක්ෂ  එකහමාරක්  වගේ  වියදමක්  යනව.  වාහන  කුලිය  විතරක්  රු.8000/ ක්  වගේ  යනව.  ගේන  වලං  ගෙදරින්  බාල  ටිකටික  ගෙනැල්ල  බිස්නස්  කරනව. මිනුවන්ගොඩ ,  පඬුවස්  නුවර,  උඩුබද්දාව,  දුම්මලසූරිය  යන  ප්‍රදේශවලින්  වලං ගේනව. කෙහොම  උනත්  දවසකට  රු. 3000/  ක  විතර  ආදායමක්  සාමාන්‍යයෙන්  ලබාගන්න  පුළුවන්  වෙනව.

මේ  රස්සාවත්  එක්ක  ඔබේ  ජීවිතේ  කොහොමද?

මම  ජීවිතේ  හොඳින්  ගෙවනව  වගේම  බෞද්ධයෙක්   විදිහට  සාධාරණ  විදිහට  යමක්  උපයා  ගන්නයි  මට  ඕනෙ.  මේ  අවට  සිටින  සියළුදෙනා  මා එක්ක  හොඳින්  ඉන්නවා. රාපක්ෂ  මහත්තයගෙ  වැටේ  තමයි  මගෙ  වලං  මඩුව  එල්ලිල  තියෙන්නෙ. වලව්වෙ   වැඩකරන  අය  පවා  ඇවිල්ල  මගෙන්  අහනව  කෑවද  බිව්වද  කියල. ඒ නිසා  ගෙදර උනත්  මෙහෙ  උනත්  හැම  දෙනෙක්ම  මගෙත්  එක්ක  හොඳින්  ඉන්න  නිසා  මට  හතුරෙක්  නැතිනිසාත්,  කිසි  කරදරයක්  නැතිව  සතුටින්  ජීවිතේ  ගත කරනවා.

සෝමපාලගේ  වලං  වෙළඳාම  ගැන  අදහස්  බෙදාගන්නාවිට  එක් කවියක්   සිහියට   නැගෙයි.

අම්බලමේ  පිනා  –  වලං  කදක්  ගෙනා

ඒක  බිඳපි  ගොනා  -ඒකට  මට  හිනා.

  මෙකී  කවියේ  උඩ  පෙනෙන  අරුත  සහ  යටි  අරුත  එකිනෙකට  වෙනස්ය.
සමහර   බෞද්ධාගමිකයෝ    මෙහි එන  අම්බලම,  පිනා  ,  ගොනා,  වලං  කද,  එය බිඳීම  ආදී  දේවල්  ගැන  ගැඹුරු    අවබෝධයක්  නැතත්  ජීවිතයේ  නිසරු දේ  ගැන  යම්  අවබෝධයකින්  කටයුතු  කරයි.  මෙකී  දහමට  අනුව  ජීවිතය  වලඳක්  මෙන්  බි‍ඳෙන  සුළුයැයි  සෝමපාල  පවසයි.    “මගෙ  තාත්ත  සාමකාමීව  ජීවත්වුනු  කෙනෙක්.  එයාට  හතුරො  හිටියෙ  නෑ.  මටත්  එහෙමයි. අපි  ජීවත්වන  කාලයේ  හොඳින්   ගතකිරීම  තමයි  වෙන්න  ඕනෙ.,,   සෝමපාලගේ   අහිංසක   සිනාව  තුළ  මතුවී  පෙනෙන්නේ  අව්‍යාජ  ගැමි   ස්වභාවයයි.  ඔහු  පොඩි  මිනිසෙකු  වුවද  ලොකු  මිනිසුන්  තුළ  නැති  උදාර  ගුණාංග  වලින්  හෙබි  අයෙකු  බව  පැහැදිළි  විය. අපි  ඔහුගේ  ජීවිත  ගමනට  සුභ  පතමු.DSC_0202-1


සැම්සන් ඥානසිරි 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article