මම පසුගිය කාලයේ ස්වයංචරිතාපදාන රංගයක් (Autobiographical Theatre) නිර්මාණය කරන්න කොස්තාව තෝරා ගත්තෙමි. එනම් ඔහුගේ සත්‍ය කතාව ඇසුරින් නිර්මාණය කරන, එක් චරිතයක් පමණක් ඉන්නා, එම නාට්‍යයේ ඔහු විසින්ම තම චරිතය ඉදිරිපත් කරන පරිද්දෙනි. මේ සඳහා මම කොස්තා සමඟ කතා කර ඔහුව ස්කයිප් හරහා කාලයක් සාකච්ඡාවලට කැඳවා ගත්තෙමි. අඩක් ලියා ඇති එම නාට්‍යය නම් කර තිබුණේ ‘විමල් කුමාර ද කොස්තා’ කියා ය.
70 දශකය වනවිට සුගතපාල ද සිල්වාගේ සිට ධර්මසේන පතිරාජ දක්වා එදා බිහිවූ හොඳම සිනමා හා වේදිකා නිර්මාණවල ප්‍රධාන භූමිකා කළ කොස්තා එවකට සිටි ලංකාවේ හොඳම චරිතාංග නළුවා විය යුතුය. නළුවෙකුට තිබිය යුතු අතිශය වැදගත් ‘ජීවිතය ගැන ඉව’ අතින් ඔහු හා එකල තරඟ කල හැකි එකෙකු සිටියේනම් ඒ ජෝ අබේවික්‍රම පමණි! එනම් කිසියම් චරිත අවස්ථා ආදිය වටහා ගැනීම සඳහා අතිශය දියුණු තියරීස් සමඟ අප කරනා සක්රිප්ට් ඇනලයිසිස් (Script Analysis ) නැතිව කොස්තලා හරියටම අවශ්‍ය තැන අල්ලා ගනිති. කැමූ නැතිව හිස් බවද බෙකට් නැතිව විකාර බවද කොස්තලාට හසුවෙයි.
ක්‍රමයෙන් කොස්තා ඔහුගේ කතාව මට කියාගෙන යනවිට, මට පසක්වූයේ මාලනී ( ෆොන්සේකා) නැතිව ඔහුට තම කතාව කිව නොහැකි තරම් බවය. එහෙත් මාලනී ඔහුගේ ජීවිතයට සම්බන්ධ වන්නේ කොතනින්ද යන්න එක්කෝ ඔහුටම අපහැදිලිය නැතහොත් ඔහු එය මට කෙලින් කියන් නැත. කෙසේ හෝ ඔහුගේ ගමේම එකියක්වූ මාලනී මුලින්ම ඔහුට හමුවන්නේ හෝඩියේ පංතියේදීය. මාලනී සමඟ එකට වැඩෙන කොස්තාට ඇය ගැන කිසියම් අයිතිකාර හැඟීමක් ඇති නොවුනාම යැයි කිව නොහැක. එහෙත් මාලනී ගැලපුනේ විජයටය. විජය – මාලනී නිල පෙම්වතුන් වී ද සිටියහ. ක්‍රමයෙන් කොස්තා ගැලපුණේ ‘කවටයාටය’!
එසේ වූයේ ඇයි?
ඉන්දියාවේ මෙන්ම එදා අපගේ සිනමාව ද මුලුමනින්ම නළුවන්ගේ රූපය මුල්කරගත් එකක් වූ අතර ප්‍රේක්ෂකයින්ද, අධ්‍යක්ෂකවරුන්ද රිදී තිරයේදීද සැබෑ ජීවිතයේදීද පෙම්වතුන් යැයි කියා දකින්න කැමති විජය – මාලනී විනා කොස්තා- මාලනී නොවේ. රංගනයෙන් නම් කොස්තා කිසිසේත් විජයට දෙවනි වන්නේ නැත. කොස්තාව සිනහව ඇතිකරන්නද විජයව ආදරය ඇතිකරන්නද යොදාගැනීමට තීරණය කරන්නේ අධ්‍යක්ෂකවරුන් හා ප්‍රේක්ෂකයින් විසිනි. අවසානයේ එයම නළුවන්ගේ ඉරණම තීරණය කරනු ඇත. එය කොස්තාට සිදුවූ එක දෙයකි.
මේ කතාබහ යන කාලයේ සිදුවූ විශේෂ දෙයක්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේදී කොස්තා හා මාලනී ඇතුලු කලාකරුවන් පිරිසකට ඇගයීම් සම්මාන පිරිනැමීමක් සංවිධානය වීමයි. මේ සම්මාන උළෙල අතරතුර ‘මාලනී මට ඔයාට මේ ඔක්කොම ඉස්සරහ කිස් එකක් දෙන්න ඕනේ’ යැයි කොස්තා මාලනීට රහසේ කියා ඇති අතර කෙසේ හෝ මාලනී වේදිකාවේදී කොස්තාට එම කිස් එක දෙයි. ( මට එය මතක් කලේ කොලරා කාලේ ආලේ කතාවයි!) කොස්තා එම කිස් එක ගැන විස්තරයක් කරමින් මනුෂ්‍යයකු ලෙස මාලනී ගැන දීර්ඝ ඇගයීමක් කලේය. ඒ වන විට (2013) මාලනී දේශපාලනිකව බලය ඇති බලවත් චරිතයක් ලෙස නැගීවිත් සිටි බැවින් කොස්තාට ඉන්න තැනක් හොයා ගැනීම ඇතුලු යම් උදව්වක් මාලනීට කළ හැකි නේදැයි මම ඇසූ විට ඔහු කිවේ මාලනීට එසේ කී දෙනෙක් කියනවා ඇද්ද කොහෙම කරන්නද කියාය.
ශ්‍රී ලංකාවේ මිනිසුන්ට දියුණුවීම හෝ පැවැත්ම සඳහා පසුකාලීනව වේගයෙන් ගැලපෙන්නට සිදුවූ පුදුම විකාර ක්‍රමයක් කඩාපාත් විය. මිනිසකු ලෙස දියුණුවීමට ඔබ නිවැරදිව දැනගත යුතු දේවල් අතරට කළ යුතු නොකළයුතු විභාග සහ විෂයයන්, සංකීර්ණ බැංකු ක්‍රම, මුදල් ලැබෙනවිට නියම වේලාවට ඉතුරුකර ඉඩමක් අරන් දමා ගේ හදන්න පටන් ගැනීම, මිනිසුන් අල්ලා ගැනීම, ළමයාව හොඳ පාසලකට දමා ගැනිමේ උපක්‍රම, මුදල් හා කාලය නාස්තිය වලක්වන්න මිනිසුන් ඇසුර සීමා කිරීම ආදී දේවල් එකතු වී ඇති අතර මේ වනවිට නම් ඊමේල්, පාස්වර්ඩ්, ඉන්ටනෙට්, ඩිජිටල්කරණය දැනගැනීම දක්වා එය සංකීර්ණ වී ඇත. එම දියුණුවීමට අවශ්‍ය අතිශය ව්‍යාකූල සංකීර්ණ සැලැස්මට නරියෙකු සේ ඔබට කෙතරම් ගැලපෙන්න පුළුවන් වන්නේ ද එතරම්ම ඔබට දියුණ විය හැකිය. නැතහොත් කොස්තා වැන්නෙකු විය හැකිය. අර නරුම කෘෘර ක්‍රමයේ න්‍යායන් නොතකා මිතුරු ඇසුර, බීම, කලාව, ගෑණු සහ ගංජා සමඟ නිදැල්ලේ ගියවුන්ට කෙළවින. ( ඊට අනුගත වන්න නොහැකිවුන් අවශ්‍යයෙන්ම විශේෂ මනුෂ්‍යත්වයක් ඇතිවුන් යන්න ඉන් අදහස් නොකෙරේ). කෙසේ හෝ කොස්තාගේ ජීවිතයේ වඩාම රසවත් හා කම්පිත සිදුවීම් ඇසුරින් මම මතුකරන්නට හැදුවේ අන්න ඒ ක්‍රමය තුළ අතිශය ‘සාර්ථකවූ මිනිසුන්’ රැසක් මැද කොස්තා නම් නළුවා නැතිවෙන ( lost) හැටිය. මම එය ඉදිරිපත් කරන්නේ තමන්ට සිදුවූයේ කුමක්දැයි නොදැනගෙන කතාව කියාගෙන යන්නෙකු ලෙසයි. ( ප්‍රේක්ෂකයාට තේරෙනු ඇත) නමුත් ඒ ලොස්ට් කම ඊට වඩා සාංදෘශ්ඨිකවාදී ගැඹුරක් ඇති අර ඉහත සඳහන් කළ දේශපාලන ක්‍රමයේ තාර්කය දැණුවත්ව හෝ නොදැනුවත්ව පිළිනොගැනීම පැවත්මේ හිස්බව කරා අප රැගෙන යයි.
ඒ වනවිට කොස්තා කෙතරම් ආර්ථික දුශ්කරතා මත සිටියේදැයි කියනවානම් ඒවා මෙහි ලිවීමට නොහැකි තරම් කම්පිතය. ඒවා ඔහු නාට්‍යයට ඇතුලත් කරනවාට පවා කැමති නොවුයේ ඊට තවත් අයද ඈඳෙන බැවිනි. මේ සම්බන්ධ මම ඔහු සමග කතා කරනවිට ඔහු මට නිතර කීවේ, ‘කොතන හරි වරදක් තියනවා නම් ඒවා ඔක්කොම මට දාන්න, කාටවත් දොස් කියන්න එපා’ කියාය.
කොස්තාට සිදුවූ අතිමහත් අසාධාරණය හා ඔහුව මානසිකව පසුබෑමට ලක්කළ සිදුවීමක් ගැන සටහන් කළ යුතුය. කොස්තා ස්වෝත්සහයෙන් අභින රංග වර්ධනය කරමින් ඉඳ ධම්ම ජාගොඩගේ රංග ශිල්ප ශාලිකාව හරහා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවැත්වපු රංග වැඩමුලුවකට සම්බන්ධ වන අතර එහි ගුරුවරයා ලෙසට කැඳවන්නේ ලෝක ප්‍රකට ප්‍රංශ අභින ශිල්පී මාර්සල් මාර්සෝය (Marcel Marceau ). ඒ හරහා කොස්තාට මාර්සෝ යටතේ ප්‍රංශයට ගොස් රංගනය ඉගෙන ගන්නට 1971 දී ශිෂ්‍යත්වයක් ලැබුණත් එය එවකට පැවති කිසියම් දේශපාලන පරිසරයක් හේතුවෙන් නවතා දමා ඔහුට අහිමි කරයි. එසේ ගියානම් සමහර විට අද අප කොස්තා ගැන ලියන්නේ වෙනත් කතාවක් වන්නට ඉඩ තිබිණ.
මම ඔහුගේ කතාවේ පළමු වටය අඩක් පමණ ලියා ගොස් නාට්‍යයට ගන්නා දේවල් ඔහුට කියනවිට ඉන් වැඩි කොටසකට ඔහු අකමැති විය. මම කිසිවකුට පුද්ගලිකව චෝදනා නොකර පොදුවේ සමාජය විවේචනය වන්නට සලසා තිබුණු නමුත් මාලනීද ඇතුළු සමහරුන්ට ඉන් ප්‍රශ්ණ ඇතිවිය හැකි බව කොස්තාගේ අදහස විය. විශේෂයෙන් ඔහුම එය ඉදිරිපත්කරන නිසා. ඔහුගේ ජීවිතය ලොස්ට් වීමක් ලෙස ඉදිරිපත් කරනවාටද ඔහු එතරම් කැමති නොවීය.අවාසනාවට කොස්තාට සිදුවූ දේ ගැන කොස්තා හා මගේ අවබෝධය දෙකක් විය. ඊටත් වඩා ලොකු ප්‍රශ්ණය වූයේ තනි නළුවෙකුගේ දිගු රංගයක් ලෙස පුහුණුවී ඉදිරිපත් කිරීමට ඒ මොහොතේදී කොස්තාට හැකිද යන්නය. ඔහු දිනපතා අධිකලෙස මත්පැන් පානය කළ අතර රංගනය සදහා එතරම් (70-80 ගණන්වල මෙන්) සූදානමක් නොවීය. ඒ වෙන කොට, 2013 දී මගේ නාට්‍ය උළෙලේ එය පෙන්වීමට ලයනල් වෙන්ඩට් රඟහල වෙන්කර තිබූ බැවින් ද කොස්තා තමාට එය කළ හැකි යැයි තදින්ම කියා සිටි බැවින් ද මම ද කෙසේ හෝ කරනවා යැයි මතයේ සිටියෙමි. එහෙත් එවකට කොස්තාගේ ව්‍යාපෘතිය භාරව සිටි චාන්දනී (සෙනවිරත්න) තීරණයක් ගැනීමට මේ ගැන වෙනම සොයා බැලූ අතර ඒ අනූව තහවුරු වූයේ එම කාලයේ කොස්තා වැඩ කල නිර්මාණ කීපයකදී ඔහුගෙන් උවමනා පරිදි වැඩේ කරගන්න බැරිවී ඇති බවයි. මට මෙය තහවුරු කරන්න ඇයට ඡායාරූප පවා එවන්න සිදුවිය. මෙසේ මම කලක සිට මහත් ආශාවෙන් රංගගත කිරීමට සූදානම්ව සිටි කොස්තා ලවා ඔහුගේම ජීවිතය රංගගත කිරීමේ සිහිනය අත්හැර දැමීමට සිදුවිය. එම නාට්‍යයට යොදාගැනීමට සිටි ආකෘතියෙන් සමහර කොටස් යොදාගනිමින් මම ‘බුද්ධිකයාගේ ජීවිතය’ නම් වෙනත් ස්වයංචරිතාපදාන නාට්‍යක් නිර්මාණය කළේ මෙහි ප්‍රථිඵලයක් ලෙසයි.
(ඉහත සටහනේ කොස්තා කියූ විස්තර ඔහුගේ සාකච්ඡාවෙන් ලබාගත්ත ඒවා වන අතර එම හඬපට දැනට මා සතුව ඇත.)
ඇත්ත වශයෙන්ම මට හමුවන විට යන්තම් කොස්තා නම් මිනිසා ජීවත් වුවද විමල් කුමාර ද කොස්තා නම් නළුවා බොහෝ කලකට පෙර මිය ගොස් තිබුණි. විවිධ පුද්ගලයින් එකම දේට ප්‍රතිචාර දක්වන්නේ විවිධ ලෙසටය.’ක්‍රමය’ට නොගැලපීම, ආදරය කළවුන්ට තේරුම්ගන්නට නොහැකිවීම, කුසලතාවයෙන් වැඩක් නොගැනීම….
මිනිහෙකුට බීලා මැරෙන්නට මීටත් වඩා දේවල් අවශ්‍යද?
ධනංජය කරුණාරත්න
http://mirrorarts.lk