මීගමුවේ, ප්‍රථම වතාවට සිසිල් බීම දන්සැල් තහනම් කරයි..

0
84

 

මීගමුව මහා නගර සභා බල ප්‍රදේශය තුළ ප්‍රථම වතාවට, මෙවර වෙසක් උත්සවය සඳහා සංවිධානය කර ඇති සියලුම සිසිල් බීම දන්සැල් මීගමුව, සෞඛ්‍ය බලධාරීන් විසින් තහනම් කර තිබේ. මේ දිනවල නිතර ඇති වන වර්ෂාපතනයත් සමඟම පානිය ජලය සපයා ගැනීමේදී ඇතිවිය හැකි ගැටලු මුල් කරගනිමින් සහ එම පානීය ජලය අපිරිසිදු තත්ත්වයන්ගෙන් යුක්ත විය හැකි බැවින්ද එලෙසම මේ දිනවල පැතිර යන මොලේ උන රෝගය හෙවත් මෙනින්ජයිටීස් වැනි විවිධ රෝගාබාධ පිළිබද ද සැලකිල්ලට ගෙන මෙවර වෙසක් සමය තුලදී  සිසිල් බිම දන්සල් සදහා අවසර ලබා නොදීමට කටයුතු කර ඇති බව මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක , එච්.ඒ. යු . කේ . ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කර ඇති  සිසිල් බීම දන්සල් සියල්ලම පාහේ තේ, කෝපි , බෙලිමල් සහ අනෙකුත් ඔසුපැන් ඇතුළු උණුකරන ලද උණුසුම් පානයන් ( Hot Drinks) ලෙස ලබාදීමට එම දන්සල් පැවත්වීමට කටයුතු කළ සංවිධායකයන් එකඟවූ බවත්, ඒ අනුව මිගමුව මහා නගර සභා බල ප්‍රදේශය තුල  මෙවර වෙසක් සමයේ සිසිල් බීම දන්සැල් නොපැවැත්වෙන බවත් මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක , එච්.ඒ. යු . කේ . ගුණරත්න මහතා වැඩිදුරටත් අප වෙත ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන මීගමුව, වැඩිහිටි බල මණ්ඩලයේ සමාජිකයකු වන ජේෂ්ඨ පුරවැසි මහත්මයෙකු සඳහන් කළේ මීගමුව සෞඛ්‍ය බලධාරීන් විසින් මෙවර වෙසක් සමයේ සිසිල් බීම දන්සැල් තහනම් කිරීමට ගත් එම තීරණය, මහජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වය වෙනුවෙන් ගත් ඉතාම හොඳ තීරණයක් බවයි. විශේෂයෙන්ම ඔහු පෙන්වා දෙන්නේ සිසිල් බීම දන්සැල් සඳහා , බොහෝ දන්සැල් සංවිධායකවරු එම සිසිල් බීම පිළියෙල කිරීම සඳහා ගනු ලබන ජලයෙහි පිරිසිදුභාවය සහ ඒවා පිළියෙල කිරීමට යොදා ගන්නා භාජන පිළිබඳව බොහෝ විට කිසිදු තැකීමක් හෝ සොයා බැලීමක් හෝ සිදු නොකරන බවයි. බොහෝ වෙලාවට කොහෙන් හෝ හදිසියේ සපයා ගන්නා ජලය රැගෙන, සහ කොහෙන් හෝ ලෙහෙසියට පහසුවට සොයා ගන්නා ප්ලාස්ටික් බැරල් වැනි භාජන යොදාගෙන, ශරීරයට අහිතකර විවිධ වූ රසායනික ද්‍රව්‍ය අඩංගු විවිධ රසයන්ගෙන් යුත් රසකාරක සහ වර්ණක අඩංගු කර බොහෝ විට මෙම සිසිල් බීම පිළියෙල කරන බවයි. එලෙසම එලෙස පිළියෙල කරගන්නා සිසිල් බීම වල ස්වභාවික පලතුරු වැනි දේ අඩංගු නොවන බවද ඔහු සඳහන් කරයි.එමෙන්ම එලෙස පිළියෙල කර ගන්නා සිසිල් බීම පිළිගැන්වීමේ දී පවා ලබා දෙන බඳුන්වල හෝ වීදුරුවල පිරිසිදුභාවය පිළිබඳවද බොහෝමයක් සිසිල් බීම දන්සැල් සංවිධානය කරන පිරිස් විසින් නිසි ලෙස සොයා බැලීමක් හෝ සිදු නොකරන බව එම මීගමුව වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජික ජේෂ්ඨ පුරවැසි මහත්මා වැඩිදුරටත් අප සමග පැවසීය. එලෙසම ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ උතුම් වූ වෙසක් උත්සවය වෙනුවෙන් නොමිලේ , පින් පිණිස හෝ ජනතාවට වස විස ලබා නොදීමට මීගමුව සෞඛ්‍ය බලධාරීන් තීරණය කිරීම ඉතාම යහපත් තීරණයක් බවයි. සෞඛ්‍ය බලධාරීන් විසින් ගත් මෙම යහපත් තීරණය සඳහා, මීගමුවේ සියලුම ජනතාව වෙනුවෙන් මීගමුව, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට සහ ප්‍රධාන මහජන පරීක්ෂකවරයා ඇතුළු සෙසු මහජන පරීක්ෂකවරුන් වෙත ස්තුතිය පුද කල යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද, මීගමුව මහා නගර සභාවේ, මහජන සෞඛ්‍ය සේවා අංශයෙන් විවධ වු
දන්සැල් 180 ක් ලියාපදිංචිය ලබාගෙන ඇති බවත් , තවද එයින් දන්සැල් 27 ක් ම බත් දන්සැල් බවත් මෙහිදී වැඩිදුරටත් වාරතා වුණි.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here