වෙසක් උත්සවයට, පුංචි රෝමය, සූදානම් . ..

0
42

.

තෙල්වත්ත මංසන්ධියේ දිග අඩි 65 ක සහ උස අඩි 05 ක දැවැන්ත බෞද්ධ කොඩි 02 ක්…

පුංචි රෝමය හෙවත් මීගමුව පුරවරය, එළඹෙන වෙසක් උත්සවයට කඩිනමින් සූදානම් වන ආකාරය මේ දිනවල දැකගත හැකිය. මීගමුව, නගරයේ හා හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේද වෙනත් උප ප්‍රධාන මාර්ගවලද බෞද්ධ කොඩි, විදුලි බුබුළු සහ වෙසක් කූඩු ඇතුළු වෙනත් වෙසක් සැරසිලි වලින් සරසා අලංකාර කර ඇති ආකාරය දැක ගත හැකිය.
එලෙසම මීගමුව පුරවරයේ දී ප්‍රථම වතාවට දිගින් අඩි 65 ක් සහ උසින් අඩි 05 ක් පමණ වන අති දැවැන්ත බෞද්ධ කොඩි 02 ක් ප්‍රදර්ශනය කිරීම, පසුගිය 27 වැනිදා (27/05/2026) පෙරවරුවේ සිට ආරම්භ කෙරිනි.

IMG 20260529 WA0083 IMG 20260529 WA0082 IMG 20260529 WA0084 IMG 20260529 WA0085 IMG 20260529 WA0086 IMG 20260529 WA0087 IMG 20260529 WA0088
මීගමුව තෙල්වත්ත මංසන්ධියට ආසන්නව, මීගමුව මහා නගර සභාව ඉදිරිපිට කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය හරහා ඉදි කර ඇති සුවිශාල දැන්වීම් පුවරුවේ පැති දෙකම ආවරණය වන ලෙස මෙම සුවිශාල බෞද්ධ කොඩි 02 ක නිර්මාණය කරමින් ප්‍රදර්ශනය කර ඇත. මෙම දැවැන්ත බෞද්ධ කොඩි 02 වෙසක් සතිය පුරාවට එනම් එළඹෙන ජුනි මස 02 වෙනිදා (02/06/2026) දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
මෙම දැවැන්ත කොඩි 02 ක ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ ඉකුත් 27 වැනි දින (27/05/2026) පෙරවරුවේ, මීගමුව තෙල්වත්ත මංසන්ධියේදී ආගමික වතාවත් සිදුකරමින් එම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මීගමුව, පුංචි පන්සල නොහොත් අබේසේකාරාරාමයේ විහාරාධිපති ගරු දැවමොට්ටාවේ මලියදේව ස්වාමින් වහන්සේ සහ දෙමංහන්දිය
” බුෂිනොකායි ” ජපන් පෙර පාසලේ අධ්‍යක්ෂක සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගරු මුතුවාඩියේ උපසීහ ස්වාමීන් වහන්සේ ද සහභාගී වූහ. මීගමුව අබේසේකාරාරාමයේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වන මීගමුවේ කිත්සිරි සිල්වා මහතාගේ සංකල්පනාවකට අනුව නිර්මාණය වූ මෙම සුවිශාල බෞද්ධ කොඩි 02 ඇතුළු තෙල්වත්ත මංසන්ධිය අවට ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර ඇති අනෙකුත් බෞද්ධ කොඩි සඳහාද මූල්‍ය දායකත්වය ලබා දී ඇත්තේ මීගමුව තෙල්වත්ත මංසන්ධියේ ජයමල් මෝටර්ස් ව්‍යාපාරයයි .

 

මීපුර වෛශාක්‍ය මංගල්‍යය , ධර්ම විජය වෙසක් කලාපය 02 වන වරට .. මෙවරත්…

මීගමුව , කොප්පරාහන්දියේ, විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ , ශ්‍රී විජය පිරිවෙන් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්, ධර්ම විජය වෙසක් කලාපය 02 වන වතාවටත් පැවැත්වේ.
මැයි මස 29,30,31, සහ එළඹෙන ජුනි මස 01, සහ 02 යන දින 05 ක් පුරාවට මෙම වෙසක් කලාපය පැවැත්වීමට නියමිතව ඇත.
විජේපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙල්වල අංගීරස ස්වාමීන් වහන්සේ සඳහන් කළේ බෞද්ධ සැදැහැවතුන් සඳහා ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට හැකිවන ලෙස, එම බෞද්ධ මධ්‍යස්ථානයේදී ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් ද පැවැත්වෙන බවයි. එලෙසම මෙම වෙසක් කලාපය තුළ දර්ශණීය තොරණ, අලංකාරවත් පහන් කූඩු සහ බුද්ධාලම්බන ප්‍රීතිය දනවන වෙසක් බැති ගී ගායනා ප්‍රසංගයක්ද මෙම වෙසක් කලාපයට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එලෙසම සෑම දිනකම බත් දන්සැල් ඇතුළු විවිධ වූ දන්සැල් පැවැත්වීමටද එම සංවිධායක මණ්ඩලය කටයුතු සංවිධානය කර ඇති බව පූජ්‍ය දෙල්වල අංගිරස ස්වාමින් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළ අතර මීගමුව පුරවරයේ සහ අවට ප්‍රදේශවල ද බෞද්ධ සැදැහැවතුන් ඇතුළු බෞද්ධ නොවන ජනතාවටද මෙම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන ලෙස ආරාධනා කළහ.

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here