මීගමුව කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළඳපලේ මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ හදිසි පරීක්ෂාවකදී , මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන, විනාශ කළ බවට වාර්තා විය.
ඒ අනුව සිදුකළ කරුණු සොයා බැලීමේදී වැඩිදුරටත් වාර්තා වූයේ පසුගිය 09 වැනි අඟහරුවාදා දින මෙලෙස මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළඳපොළෙන් මිනිස් පරිභෝජනයට ඉතාම නුසුදුසු, දුර්ගන්ධය හමන හා තැලුණු මාළු කිලෝ ග්‍රෑම් 60 ක පමණ ප්‍රමාණයක්,මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන පසුව එම මාළු තොගය විනාශ කර දමා ඇති බවයි.
මේ පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ මීගමුව මහා නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරී එච්.ඒ.යූ.කේ. ගුණරත්න මහතා පැවසුවේ මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළඳපොලේ කලක පටන් මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු වෙළඳාම් කරන බවට පැමිණිලි රැසක් මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයට ලැබුන නමුත් එවැනි බෝහෝ අවස්ථාවලදී සිදුකළ පරීක්ෂාවන් වලදී බොහෝ විට එම මාළු මිනිස් පරිභෝජනයට සුදුසු හොඳ තත්ත්වයක පවතින මාළු බවට බොහෝවිට නිරීක්ෂණය වු බවත් ඔහු පැවසීය. මෙලෙස බොහෝ අය මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයට පැමිණිලි යොමු කරන්නේ බොහෝ වේලාවට කිසිදු නිරීක්ෂණයකින් තොරව බවත් ඔහු පැවසීය.
එනිසා එවැනි තත්ත්වයක් තුළ තමන් ඇතුළු තම නිලධාරීන් පැමිණි ලද බොහෝ අවස්ථාවලම එම මාළු වෙළෙඳපොළ අවස්ථානුකූලව පරීක්ෂාවට ලක් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ අනුව පසුගිය 09 වැනි අඟහරුවාදා දිනද එවන් වාචික පැමිණිල්ලක් තම අංශය වෙත ලැබුණු බවත් ,ඒ අනුව කරන ලද පරීක්ෂාවන්වලදී මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු තොගය නිරීක්ෂණය වූ බවත් ඔහු පැවසීය.
එලෙස සොයාගත් එම මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු තොගය ,කුඩා මාළුන්ගෙන් සමන්විත කලවම් මාළු තොගයක් බවට නිරීක්‍ෂණය වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම මාළු අලෙවි කරන ස්ථානයට යන විටත් , එම මාළු තොගය ජනතාවට අලෙවි කිරීම සඳහා සකස් කර, ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය , එය නිරීක්ෂණය කිරීමට එහි ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැකගැනීමට හැකිවී තිබුණි.
එහිදී එම මාළු වෙළෙඳුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පවසා තිබුණේ එම මාළු තොගය සුනඛයන්ගේ ආහාර සඳහා අලෙවි කිරීමට සූදානම් කර, තබා ඇති බවයි. කෙසේ වුවද එහිදී සිදු කළ පරීක්ෂාවන්වලදී එම මාළු තොගය මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ මාළු තොගයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව එවැනි වැරදි ක්‍රියාවන් නැවත සිදු නොකරන ලෙසත්. එලෙස එම වැරදි ක්‍රියා යළිත් වරක් හෝ සිදු කළහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අදාළ මාළු වෙළෙඳුන් දෙදෙනාට, මීගමුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් තරයේ අවවාද කර ඇති බවද වාර්තා වුණි.
මෙම හදිසි පරීක්ෂාව සිදුකර ඇත්තේ මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.යූ.කේ. ගුණරත්න මහතාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක කසුන් සමරකෝන් මහතාගේ මූලිකත්වයෙන් බවද පසුව වාර්තා විය.
සටහන .-.
තුෂාර රෝහන් ප්‍රනාන්දු













