මීගමුව, වැල්ලවීදියේ සුනඛයන් දෙදෙනෙකුට වද හිංසා කළ පුද්ගලයෙකු , ශරීර ඇපයක් මත මුදා හැරේ.

0
124

මීගමුව, වැල්ලවීදියේ සුනඛයන් දෙදෙනෙකුට වද හිංසා කළ පුද්ගලයෙකු , ශරීර ඇපයක් මත මුදා හැරේ. ..

මීගමුව වැල්ලවීදියේ නිවසක, තනිව ජීවත්වන බව කියන, වයස අවුරුදු 67 ක් වන වයස්ගත පුද්ගලයෙකු තමන් විසින් නිවසේ ඇති කරමින් සිටින , මාස කිහිපයක් වයසැති ජර්මන් ෂෙපර්ඩ්
( German Shepherd ) වර්ගයේ සුනඛයන් 02 කු හට ඉතා අමානුෂික ලෙස වද හිංසා පමුණවන බවට පසුගිය දිනවල අන්තර්ජාලය කළඹවමින් පුවත් පලවිය.
මේ පිළිබඳව සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ, එම ප්‍රදේශයේම වෙසෙන සත්ව හිංසනයට විරුද්ධ හා සත්ව ලැදී පුද්ගලයෙකුට මේ බව දැන ගැනීමට ලැබී ඇති බවත්, ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී එම සත්ව ළැදි පුද්ගලයාට දැන ගන්නට ලැබී තිබුණේ මෙම පුද්ගලයා දිනපතාම පාහේ නයිලෝන් නූල් යොදා එම සුනඛයන්
දෙදෙනාගේ කටවල් (මුඛයන්) තදින් ගැට ගසා ඉතා අමානුෂික ලෙස පහරදීම් සිදු කරන බවයි.
එලෙසම එම සුනඛයන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දෙන විට කටවල් ගැටගසා තිබීම නිසා , එම සුනඛයන්ට පහර දෙන විට දැනෙන වේදනාව පවා ඉවසා ගත නොහැකිව හඬා වැටීමට හෝ තම වේදනාව පිටකිරීම සඳහා කෑ ගැසීමටත්, හඬා වැටීමටත් පවා නොහැකිව ඉතාම දැඩි හිංසනයකට මේ සුනඛයන් දෙදෙනා ලක්ව ඇති බව මෙම සත්ව ලැදි පුද්ගලයාට වැඩිදුරටත් දැනගන්නට ලැබී තිබිණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ එම පුද්ගලයා මීගමුව, පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කරන ලද දැනුම් දීමකට අනුව මීගමුව පොලිසියේ නිලධාරීන් විසින් මීගමුව, වැල්ලවීදිය ප්‍රදේශයේ වෙසෙන මෙම පුද්ගලයාව එම නිවසේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
වාර්තා වන පරිදි එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට එම නිවසට ගිය අවස්ථාවේදී , එම සුනඛයන් දෙදෙනාගේ කටවල් නූල් වලින් බැඳ දමා තිබූ අයුරු එහි ගිය පොලිස් නිලධාරීන්ගේ ද නිරීක්ෂණයට ලක්වී තිබිණි. ඒ අනුව මෙම පුද්ගලයාව සතුන්ට අමානුෂික ලෙස වද හිංසාවන් පැමිණවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ අනුව අත්අඩංගුවට ගත් එම සැකකරුව, ඊයේ දින (11/06/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. එහිදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සැකකරුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර එම සුනඛයන් දෙදෙනාව සුරක්ෂිත මධ්‍යස්ථානයකට යොමු කරන තෙක් මීගමුව පොලිසියේ භාරයට පත් කර ඇත. මෙම සිදුවීම සම්බන්ධව නැවත නඩු විභාගය මේ මස 24 වැනි දින (24/06/2026) විභාගයට ගැනීමට නියමිතව ඇත.
මීගමුව පොලිස් ස්ථානයේ, විවිධ පැමිණිලි අංශයේ, අධිකරණ කටයුතු භාර පොලිස් කොස්තාපල් අමිත් දිලංක කුමාර මහතා විසින් මෙම සැකකරුව,මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here