spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු නගරයට ආරක්ෂිත සහ විධිමත් රථ ගාලක්

Must read

මීගමුව නගරයට ආරක්ෂිත සහ විධිමත් රථ ගාලක් නොමැතිවීම දැනට දශක කිහිපයක සිට දක්නට ඇති ප්‍රධානතම අඩුපාඩුවකි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාණිජ නගරය වන කොළඹ නගරයෙන් පසු ඇති ප්‍රධානතම වාණිජ නගර කිහිපය අතරින් මීගමුවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

එමෙන්ම මීගමුව යනු විශේෂයෙන්ම විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ සංචාරක පුරවරයෙකි. රටේ ජනප්‍රියතම ඇඟලුම් සහ රෙදි පිළි ප්‍රදර්ශනාගාර සියල්ලක්ම පාහේ මේ වන විට මේ නගරයේ විවෘත වී පවතී.එලෙසම රටේ ජනප්‍රිය රන් ආභරණ වෙළඳ ආයතනද ,ජනප්‍රිය සුපිරි වෙළඳසැල් රාශියක්ද මේ වන විට මීගමු නගරය තුළ ස්ථාපිතව ඇත.

එමෙන්ම රජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම වෙනත් මූල්‍ය ආයතන සියල්ලක්ම පාහේ මේ වන විට මීගමු නගරය තුළ ස්ථාපිතව ඇත. සෑම රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවකම ප්‍රධාන ශාඛාවන් දෙක බැගින් නගරය තුළ ස්ථාපිතව තිබීම තවත් සුවිශේෂී කරුණකි.ඒ වගේම ධීවර කර්මාන්තයේ ව්‍යාපාර සිය ගණනාවක් මීගමු නගරය තුළ ස්ථාපිත ව ඇති නිසා මේ නගරයට දෛනිකව පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසු කර ඇතැයි නගරයේ ව්‍යාපාරිකයෝ පවසති.

තම ව්‍යාපාරික අරමුණු සඳහාත් තම පෞද්ගලික අවශ්‍යතා සඳහාත් නගරයට පැමිණෙන බොහෝ දෙනා බස් රථ සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිතා කළත් වැඩිම පිරිසක් නගරයට පැමිණෙන්නේ තමන්ගේ පෞද්ගලික රථ වාහන වලිනි. එලෙස නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුගේ රථ වාහන නතර කර තබන්නේ බොහෝ විට මහා මාර්ග වල සහ ඒවාට යා වන අතුරු මාර්ග වලය. මෙලෙස මාර්ගවල රථ වාහන නතර කර තැබීම එම මාර්ග හරහා ගමන් කරන අනිත් රථවාහන වලටද විශාල බාධාවකි. එමෙන්ම එම මාර්ගවල පයින් ගමන් කරන පදිකයන්ටද විශාල බාධාවකි.

මෙවැනි බාධාවන් අපහසුතාවයන් නිසා නගරයට පැමිණෙන අයටත්, නගරේ ව්‍යාපාරිකයන්ටත් එලෙසම නාගරයේ වෙසෙන බොහෝ දෙනෙකුටත් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවී තිබේ. මේ සියල්ලන්ටම ගැටලුව වන්නේ මීගමු නගරයට විධිමත් ඉඩකඩ සහිත රථ ගාලක් හෝ දෙකක් මෙතෙක් ස්ථාපිත නොවීමයි. ළඟ ළඟ එන අප්‍රේල් මාසේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමය තුළ මෙම අඩුපාඩුව දැඩි අර්බුදයක් බවට පත් වනු ඇත

.මේ පිළිබඳ අදහස් දක්වන මීගමුව ව්‍යාපාරික සංගමයේ සභාපති සහ මීගමුව සංවර්ධන කමිටුවේ සභාපති දෘෂ්ඨි විශේෂඥ වෛද්‍ය ඉයන් මහතා පවසන්නේ ළඟ එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මීගමු නගරය තුළ තාවකාලික ලෙස රථ ගාලක් හෝ දෙකක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නම් තැබෑරුම් වත්ත සහ කඩොල් කැලේ ප්‍රදේශයේ ඇති නගර සභාවට අයත් ඉඩම් තෝරාගෙන වඩාත් විධිමත් හා ආරක්ෂිතව රථවාහන ගාල්කර තැබිය හැකි ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ඒක මාර්ගික හෙවත් වන්-වේ ක්‍රමය (one way) අලුත් අවුරුදු සමයේ ඇතිවන රථවාහන තදබදයට යම් විසඳුමක් වුවද සමහර ව්‍යාපාරිකයන් ඊට දැඩි ලෙස අකමැති බවයි. මීට පෙර මෙම ක්‍රමය ක්‍රියාත්මක වු අවස්ථාවක සමහර ව්‍යාපාරිකයන් ප්‍රකාශ කර සිටියේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වීම තුළ තම ව්‍යාපාරික ස්ථානවලට පාරිභෝගිකයන්ගේ පැමිණීම අඩුවීමෙන් තමන් ව්‍යාපාරික වශයෙන් පාඩු ලබන බවයි. මෙහිදී වෛද්‍ය ඉයන් මහතා ,පෙන්වා දෙන්නේ මීගමුව වැනි සුපිරි නගරයකට මෙවැනි තාවකාලික විසඳුම් සුදුසු නොවන බවයි .ඔහු පවසන පරිදි ප්‍රථමයෙන්ම මිගමු නගරය සඳහා ස්ථිර නගර සැලැස්මක් (city plan) නිර්මාණය කළ යුතු තිබේ. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මුල් විය යුතු බවත්, මොරටුව විශ්ව විද්‍යාලය වැනි ආයතනයක් මාර්ගයෙන් මෙම නගර සැලැස්ම විධිමත් ආකාරයට නිර්මාණය කළ යුතු බවද ඔහුගේ අදහසයි. එහිදී නගරය ඇති බිම් ප්‍රමාණය සහ හිස් ඉඩම් පිළිබඳව සැලකිල්ලට ගෙන කඩ සාප්පු සහ වෙනත් ව්‍යාපාරික ස්ථාන ආදිය ස්ථාපිත විය යුතු ප්‍රදේශ පිළිබඳව ද, එලෙසම නගරයට අවැසි වෙනත් පොදු ස්ථාන ස්ථාපිත විය යුතු ප්‍රදේශද එහි වෙන වෙනම දැක්වෙන නිසා එහිදී නගරයට අත්‍යවශ්‍ය රථගාලකට හෝ කිහිපයකට අවශ්‍ය බිම් කොටස් තෝරා ගත හැකිය. එලෙස තෝරා ගත් ඉඩම් වල වැඩිපුර රථ වාහන ප්‍රමාණයක් ගාල් කර තැබිය හැකි පරිදි තට්ටු ක්‍රමයට ගොඩනඟන, මහල් ගොඩනැගිලි ආකාරයට සකස් කළ නවීන මාදිලියේ රථ ගාලක් හෝ කිහිපයක් නගරය ආශ්‍රිතව ඉදිකළ හැකිය.

වෛද්‍ය ඉයන් මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මීගමු නගරයට තදාසන්නව පිහිටි සංචාරක හෝටල් කලාපය තුළ ද නිසි ලෙස සැකසූ විධිමත් හා ආරක්ෂිත රථ ගල් නොමැතිවීම විශාල අඩුපාඩුවක් බවයි. දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙන මෙම කලාපය තුළ පිහිටි සුපිරි සංචාරක හෝටල් වෙත පැමිණෙන රථවාහන නවතා තැබීමට බොහෝ විට සිදුවී ඇත්තේ ප්‍රධාන මාර්ගය දෙපසය.

මේ හේතුව නිසා සමහර අවස්ථාවලදී එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතී.වෛද්‍ය ඉයන් මහතා පවසන්නේ මේ සඳහා ස්ථිර විසඳුමකට සැලසුමක් අවශ්‍ය වන්නේ නම් මුලින්ම නිවැරදි නගර සැලැස්මක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යම සහ ප්‍රමුඛතම කාර්යයක් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article