spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු මුහුදේ රේස්කාරයා ….

Must read

— නැගෙන රළ පරදා ගැඹුරු දියඹට˜ යන තේමාව පදනම් කර ගනිමින් කුඩාපාඩුව ජපමාල මාතා තරුණ සමිතිය මීගමුව සංචාරක හෝටල් සංගමය සහ තවත් ව්‍යාපාරික ආයතන රැසකගේ අනුග්‍රහයෙන් ප්‍රථම වතාවට පවත්වන ලද මහා බෝට්ටු තරඟාවලිය පසුගිය පෙබරවාරි 10 සහ 11 යන දෙදින තුල මීගමුව කුඩාපාඩුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී පැවැත්විණි.
මෙහි ප්‍රථම ත්‍යාගය සදහා රු.350,000 ක් වටිනා බෝට්ටු එන්ජිමක් ද දෙවන ත්‍යාගය සදහා රු.200,000 ක් වටිනා බෝට්ටුවක් සහ තෙවන ත්‍යාගය සදහා රු.100,000 ක් වටිනා දැල් කට්ටලයක්ද එලෙසම සෙසු ජයග්‍රහකයන්ට වටිනා සැනසිලි ත්‍යාගද පිරිනැමිණි.
මෙහිදී තරග කරුවන් 60 දෙනෙකු පමන අභිභවමින් ප්‍රථම ස්ථානයට පත් වුයේ මීගමුව, කුඩාපාඩුව, ලූවිස් පෙදෙසේ අංක 210/01 දරණ නිවසේ පදිංචි — වර්ණකුලසුරිය ඩිල්ෂාන් රොද්‍රිගූ නැමැති අයයි.
මෙම ජයග්‍රහනයෙන් පසු ඔහු සමඟින් කල කෙටි පිලිසදරක් පහත පල වේ.

පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත් ?.
මම උපන්නේ 1982 ජුලි මාසේ 23 දා. දැන් මාගේ වයස අවුරුදු 30 යි. තවත් මට බාල සහෝදරයින් දෙන්නයි. ඒ අයත් කරන්නේ මම වාගේම ධීවර රස්සාව . මම තමයි පවුලේ වැඩිමලා. මම ඉගෙන ගත්තේ පෙරියමුල්ලේ (පෙර) ලොයෙලා විදුහලේ. එතරම් දුරකට මම ඉගෙන ගත්තේ නැහැ. මාගේ තාත්ත ත් හොඳ දක්ෂ ධීවරයෙක් එයා ජෝශප් විමල් රුද්‍රිගූ මමත් තාත්තත් එක්ක ධීවර රස්සාවට යොමු වුනා මට වයස 17 දී විතර . පලමුවෙන්ම තාත්ත ත් එක්ක එයාගේ බෝට්ටුවේ සහයට තමයි මම ගියේ. ඊට පස්සේ තවත් අවුරුදු කිහිිපයකින් මම ම හෝස් පවුර් 25 හේ බෝට්ටුවක් අරගෙන මුහුදු ගියා.

තරඟයකට සහභාගී වන ආකාරයට වේගයෙන් සහ බාධක අභිභවා බෝට්ටු පදවන්න පුහුණු වුනේ කොහොමද ?
මාගේ තාත්තා නිසා තමයි මම බෝට්ටු රේස් වලට යන්න වුනේ. මොකද මගේ  තාත්තත් හොඳ බෝට්ටු රේස් කාරයෙක් තමයි. මට ආයේ ඒ ගැන එතරම් අමුතුවෙන් පුහුණු වෙන්න අවශ්‍ය වුනේ නැහැ. මම ධීවරයෙක් වුනාට පස්සේ අවුරුද්දේ මාස 06 ක් ධිවර කටයුතු කරන්නේ බත්තලන්ගුංඩුව මුහුදු ප්‍රදේශයේ. අවුරුද්දේ ඉතිරි මාස 06 තමයි මීගමුවේ මුහුදේ ධීවර කටයුතු කරන්නේ. මම වැඩි හරියක්ම ධිවර කටයුතු කරන්නේ ගැඹුරු මුහුදේ. ඉතින් පහුගිය අවුරුදු වල රටේ තිබුණ යුධ තත්වයත් එක්ක ඒ බත්තලන්ගුංඩුව දුපතේ ඉඳලා මහා මුහුදේ මාළු අල්ලන්න දැල් එලන්න නාවික හමුදාවෙන් ලබා දීලා තිබුනේ පැයක වාගේ කාලයක්. උදේ 4.00 ඉදලා උදේ 5.00 වෙනකම් විතරයි. ඒ ලබා දෙන ඒ අවසරයට අපි කිලෝ මීටර් 25 ක විතර ප්‍රමානයක් දුපතේ ඉදලා මහ මුහුදට ගිහින් දැල් එලලා ඒ පැය යන්න කලින් ආපසු දුපතටත් එන්න ඕනේ. ඉතින් මොන තරම් කුනාටු ගතිය තිබුනත්, මොනතරම් හුළං තිබුනත් මුහුද මොන තරම් සැර වුනත් අපි බෝට්ටුව ඉතාම වේගයෙන් පදවනවා. ඒනිසා බෝට්ටු රේස් එකකටයි කියලා මට අමුතුවෙන් පුරුදු පුහුණු වෙන්න අවශ්‍ය වුනේ නැහැ.

ඔබ සහභාගී වුනු වෙනත් බෝට්ටු තර`ගාවලීන් විස්තර කලොත් ?
මම මීට අවුරුදු 10 කට වාගේ ඉස්සර මීගමුව, කොටුව පිටිටනිය මුහුදේ තිබුණ බෝට්ටු රේස් එකකින් 04 වැනියා වුනා. ඒවාගේම මීට අවුරුදු 02 කට විතර කලින් හලාවත මුහුදු ප්‍රදේශයේ වර්තමාන වයඹ පලාත් ධීවර ඇමති සනත් නිශාන්ත මහතාගේ මුලිකත්වයෙන් තිබුණ බෝට්ටු රේස් එකකින් පලමුවැනියා වුනා. ඒකෙන් මට බෝට්ටුවක් තැගී ලැබුනා. තව මම සහභාගී වුන පොඩි පොඩි රේස් වලින් තැගී ලැබිලා තියෙනවා. ඉතින් මට වටිනාම තැග්ග ලැබුනේ ඊයේ තමයි.

ඉදිරි වෘත්තීය කටයුතු පිලිබද සැලසුම් සහ අනාගත බලාපොරොත්තු ගැන දැනගන්න කැමතියි.?
මම විවාහකයි. මට පුතාලම දෙන්නෙක් ඉන්නවා. ලොතු පුතාට වයස අවුරුදු 10 යි. පොඩි පුතාට වයස අවුරුදු 04 යි. මේ දෙන්නට හොදට උගන්නන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ දරුවෝ දෙන්නව මම වාගේ ධීවර රස්සාවට දාන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි අද මේ රස්සාව නිසා හරියට දුක් විඳිනවා. ඒ කාලේ ධීවර රස්සාව හොද වුනාට අද එහෙම නැහැ. අද වියදම වැඩියි. භූමිතෙල් වල ඉදලා ඇන්ජින් බෝට්ටු , දැල් ආම්පන්න එහෙම පුදුමාකාර ගනන්. ඒ වියදම එක්ක අපිට අද ඔරොත්තු දෙන්නේ නැහැ. අපි දැනටත් ලක්ෂ ගනනක් නයයි. ඒක නිසා මේ කුඩාපාඩුව ගමේ පියතුමන්ලාට ඒවාගේම තරුණ සමිතියේ මල්ලීලාට නංගිලාට මම ස්තූති කරනවා. අපි වෙනුවෙන් මේ වාගේ බෝට්ටු රේස්් එකක් ලැහැස්ති කරලා අපේ දක්ෂතා පෙන්වලා ඒ වාගේම වටිනා බෝට්ටු එන්ජින් , බෝට්ටු වාගේ වටිනා දේවල් අපිට තැගී කලාට. මොකද අද අපිට තියෙන ප්‍රශ්න එක්ක අපිට තියෙන ණයතුරුස් එක්ක අපිට සල්ලි එකතු කරලා මේ වාගේ දේවල් ගන්න හරීම අමාරුයි.

මේ වාගේ තරඟ වලට පිවිසීමට බලාපොරොත්තු වෙන අයට ඔබ දෙන උපදෙස් මොනවාද ?
පලමුවැනි දේ තමයි හිතේ භය නැති කරගැනීම, ඊළගට බෝට්ටු එන්ජිමේ කි්‍රයාකාරීත්වය ගැනත් ඒවාගේම එකේ තාක්ෂනික පැත්ත ගැනත් හොදට දැනගැනීම අවශ්‍යයි. ඒත් එක්කම ඒ අපි යන එන වෙලාවට මුහුදේ සහ අවට කාලගුණික තත්වය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ. ඒවාගේම මම දිනණවාමයි කියන බලාබොරොත්තුව අධිෂ්ථානය හැමතිස්සේම හිතේ තියෙන්න ඕනේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article