” මී උණ ” , වැළඳී මියගිය තරුණයාගේ මරණයට වගකිවයුත්තේ කව්ද ?

0
1062

“” .

පසුගිය 24 වැනිදා (24/07/2025) මීගමුව, කාමච්චෝඩේ වෙළඳපොළ භූමිය ආශ්‍රිතව ඇති ඇලෙක්ස් පාරේ විසු මොහොමඩ් සලිම් මොහොමඩි අන්වර් නැමැති 21 හැවිරිදි අවිවාහක තරණයෙකු මී උණ රෝගය වැළඳී ,එය උස්සන්නවීමෙන් මිය යෑමේ ශෝකජනක පුවත මේ වන විට මීගමුව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇතුවා මෙන්ම වැඩි දෙනෙකුගේ කතාබහට ද ලක්වී තිබේ. මෙකී තරුණයාගේ මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ඇතුළු මීගමුවේ බොහෝ දෙනෙකු පවසන්නේ කාමච්චෝඩේ වෙළඳපොළ සහ ඒ ආශ්‍රිත භූමියේ පවතින අපවිත්‍ර හා අපිරිසිදු තත්ත්වයත්, එලෙසම එහි අප ජලය සහ වැසි ජලය නිසි ලෙස ගලායාමට විධිමත් සහ ක්‍රමවත් කානු පද්ධතියක් නොමැති වීමත් එම අප ජලය සහ වැසි ජලය එකතු වී පොළ භූමියේ මාර්ගයන් එම ජලයෙන් පිරී පැවතීම හේතුවෙන් ඇතිවූ අයහපත් තත්ත්වය මත මෙම තරුණයාට ⁣මී උණ රෝගය වැලඳීමට හේතුවු බවයි. මෙහිදී ප්‍රදේශවාසීන් මෙන්ම,මෙම වෙළඳපොළේ වෙළදාම් කටයුතු කරන ව්‍යාපාරිකයන් සහ වෙළඳපොළට පැමිණෙන පාරිභෝගික ජනතාවද චෝදනා කරන්නේ මීගමු මහා නගර සභාව මෙම පොළ හරහා විශාල ආදායමක් ලබාගත්තද වෙළඳපොළ සහ පොළ භූමියේ ඇති යටිතල පහසුකම් කෙරෙහිද, වෙළඳපොළට යන එන ජනතාවගේ මෙන්ම ඒ අවට වෙසෙන ජනතාවගේත් යහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද කිසිදු තැකීමක් නොකරණ බවකි. ඒනිසා ඔවුන් බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මීගමු මහා නගර සභාව ඍජුවම වගකිවයුතු බවයි.

මිගමුව මහනගර සභාව වගකිම පැහැරහැරියාද?

මීගමු මහා නගර සභාව ඔවුන්ගේ වගකීම සහ කාර්යයන් පැහැර හැර ඇති බවද එම ජනතාව වැඩිදුරටත් චෝදනාත්මකව පවසති.
මේ පිළිබඳව කළ සොයා බැලීමකදී වැඩිදුරටත් අපට වාර්තා වූයේ මෙම වෙළඳ පොළ සහ එම භූමිය ආශ්‍රිතව, ද සිදුකල ඉදිකිරීම් කිහිපයක්ම ඇති බවත්, එම ඉදිකිරීම් මෙන්ම පොළ භූමියේ ජලය බැස යාම පිණිස තනා ඇති කානු පද්ධතියද විධිමත් සහ ක්‍රමවත් භාවයකින් යුක්ත නොවන බවයි. මේ සියලුම ඉදිකිරීම් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය හරහා සිදුකර ඇති බවත්, ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ එවකට මීගමු පාලනය කළ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලකයෙකු බවත් මෙහිදී වැඩිදුරටත් වාර්තා විය.

ලංසලාගේ අවිධිමත් කාණු පද්ධති නිසා ජිව්ත වලින් වන්දි ගෙවන ජනතාව ?

ඒ අනුව බොහෝ දෙනකු පවසන්නේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ විමධ්‍යගත මිලියන ගණනක මුදලක් මෙම වෙළඳ පොළ හා පොළ භූමිය විධිමත් ආකාරයට ගොඩනගන්නට වෙන්කර තිබූ බවයි. එහෙත් එය ගොඩනගනවා වෙනුවට තමන්ගේ පටු දේශපාලන පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සහ එම මිලියන ගනනක ජනතා මුදල් යටි මඩි ගසාගැනීම ගැන පමණක් සිතු එවකට මීගමුව පාලනය කළ එම ප්‍රබල ප්‍රාදේශීය දේශපාලඥයා සහ ඔහු වටා සිටි ඇම්බැට්ටයන් පිරිස මෙම වෙළඳ පොළත් එම භූමියත් නිසි සැලසුමකට අනුව ක්‍රමවත් සහ විධිමත්ව ගොඩනැගීමට අපොහොසත් වී තිබේ. මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ මීගමුව තුළ ගොඩනැගූ බස් රථ පර්යන්ත ගොඩනැගිල්ල ඇතුළු බොහෝ ගොඩනැගිලි වල තත්වයද එසේමය. එලෙසම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ කෝටි ප්‍රකෝටි ගණනක මහජන මුදල් වැය කර මීගමු නගරය සහ ඒ ආශ්‍රිතව තැනූ කානු පද්ධතියක් ඇතත් ඉතාම සුළු වැස්සකදී පවා එම කානු ඉතිරී, එම වැසි ජලය ප්‍රධාන මාර්ග ඇතුළු අතුරු මාර්ගවල පිරී විසිරී පැවතීම හේතුවෙන් වර්ෂාකාලවලදී මීගමුවේ ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ගයන් බොහෝමයක්ම වැසි ජලයෙන් පිරී පවතී.

ඒ අනුව මෙම අයහපත් හා අහිතකර තත්ත්වය තුල අද වන විට කාමච්චෝඩේ වෙළඳ පොළ සහ ඒ අවට සෞඛ්‍යමය අතින් ගත් කළ අනාරක්ෂිත සහ අවදානම්කාරී ප්‍රදේශයක් බවට පත්වී තිබේ. එලෙසම අපිරිසිදු හා අපවිත්‍ර ප්‍රදේශයක් බවටද පත්වී තිබේ.

ඉජිනේරු අංශයටත් බරපතල චෝදනාවක්.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී අප⁣ වෙත වාර්තා වූයේ මීගමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කාමච්චෝඩේ මේ වෙළඳපොලේ සහ එම භූමියේ ඇති වී තිබෙන මෙම අයහපත් වාතාවරණය පිළිබඳව මීගමුව මහා නගර සභාවේ, නාගරික ඉංජිනේරුවරයා ඇතුළු ඉංජිනේරු අංශයේ වගකිවයුතු නිලධාරීන්ට පසුගියි මැයි මාසයේදි   ලිඛිතව හා වාචිකව අවස්ථා ගණනාවකදීම දැනුවත් කර තිබේ.

එහෙත් මේ වෙළෙඳ පොළේ සහ ඒ අවට ඇති වී තිබෙන එම අයහපත් තත්ත්වයට යම් තාවකාලික විසඳුමක් හෝ ලබා දෙන්නට මීගමු මහා නගර සභාවේ නාගරික ඉංජිනේරුවරයා ඇතුළු එම අංශයේ වගකිවයුතු නිලධාරියන් සහ අදාල ප්‍රදේශය භාර තාක්ෂණ නිලධාරීයාද  මෙතෙක් කිසිදු උත්සුකවීමක් හෝ මුල පිරීමක් හෝ සිදු කර නොමැත.

ජනතාව පවසන්නේ මෙය ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයක් බවයි. එලෙසම කාමච්චෝඩේ වෙළඳපොළ ආශ්‍රිතව ජීවත්වෙන ජනතාව පවසන්නේ , නගර සභාව මේ සඳහා ඉක්මන් මැදිහත්වීමක් සිදු කළේ නම් පෙර කී මී උණ රෝගය වැළඳී මිය ගිය තරුණයාගේ මරණය සිදු නොවන්නට වැඩි ඉඩක් තිබූ බවයි.

කාමච්චෝඩේ වෙළඳපොළ සහ එම ආශ්‍රිත ප්‍රදේශය සම්බන්ධයෙන් ඇතිවී ඇති මේ අයහපත් වාතාවරණය පිළිබඳව කරුණු විමසන්නට අප දින කිහිපයක් තිස්සේ වතාවන් ගණනාවකදීම මීගමුව නගරාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කලද, නගරාධිපතිවරයා, අප දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වූයේම නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here