spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ, හෝරා ස්ථම්භයක්ද , නැතිනම් ප්‍රතිමා ස්ථම්භයක්ද ?

Must read

වර්ෂ 1988 මැයි මස 18 වැනි දින හිටපු දිවංගත ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයාගේ පාලන සමයේ අගමැතිවරයා සිටි අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් විවෘත කරන්නට යෙදුණු මීගමුව නගර මධ්‍යයේ ස්ථාපිත හෝරාස්තම්භය ( ඔරලෝසු කණුව ) ක්‍රියා විරහිත වී මේ වන විට වසරකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. එය තවමත් අලුත් වැඩියා කර නොතිබීම මීගමුව වැනි සුපිරි නගරයකට අශෝභනයකි. එවකට මීගමුව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ අභාවප්‍රාප්ත හිටපු කර්මාන්ත සහ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍ය ඩෙන්සිල් ප්‍රාන්දු මහතාගේ ආරාධනයකට අනුව ” නගර උදාව ” සංකල්පය යටතේ මීගමු නගරයට කලඑළියක් සහ අලංකාරයක් එක් කරමින් මෙම හෝරාස්ථම්භය ඉදිකිරීමේ ප්‍රධානතම පරමාර්ථයක් විය. ඒ අනුව 1980 දශකයේ අග භාගයේත් 1990 සහ 2000 දශක වලදීත් නගරයේ ජනතාවට විශේෂයෙන්ම මීගමුව ‍ව්‍යාපාරික වෙළඳ ප්‍රජාවට එලෙසම නගරයට පැමිණෙන පාරිභෝගික ජනතාව ඇතුළු සමස්ත ජනතාවට මෙම හෝරාස්ථම්භය තුළින් විශාල ප්‍රයෝජනවත් සේවාවක් සිදුවිය. ඉන් පසුව දැනට දශකයකට පමණ පෙර මෙම හෝරාස්ථම්භයේ තිබූ ඉපැරණි ඔරලෝසු වෙනුවට නව ඩිජිටල් තාක්ෂණයෙන් යුත් ඔරලෝසු හතරක් මෙම හෝරාස්තම්භයේ සිට සතර දිශාවන්ට පෙනෙන පරිදි සවිකරනු ලැබීය. එලෙසම හෝරාස්තම්භය මුදුනේම ජේසු බිලිඳුන් වඩාගෙන සිටින මරියතුමියගේ ප්‍රතිමාවක්ද ස්ථාපිත කරන්නට විය. එමෙන්ම හොරාස්ථම්භය සතර පැත්තේම නවලෝක පෞද්ගලික රෝහලේ දැන්වීම් පුවරු හතරක්ද ප්‍රදර්ශනය කරනු දක්නට ලැබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මීගමුව නගරයේ ව්‍යාපාරිකයකු අපට ප්‍රකාශ කළේ මීගමු පුරවරයේ වෙසෙන බහුතරය කතෝලික ජනතාවගෙන් සැදුම්ලත් සහ කතෝලික දේවස්ථාන කිහිපයක්ම පිහිටි පුරවරයක් නිසා කතෝලික ආගමික අනන්‍යතාවයේ සලකුණක් ලෙස මෙලෙස මරියතුමියගේ ප්‍රතිමාව ස්ථාපිත කල බවට, එවකට නගර බලධාරීන් ප්‍රකාශ කළ බවයි .ඒ අනුව එම ව්‍යාපාරිකයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව හොරාස්ථම්භයේ කටයුතු පවත්වාගෙන යෑමට අනුග්‍රහකත්වය සපයන නවලෝක පෞද්ගලික රෝහලේ දැන්වීම් පුවරු 04 ක් ද මෙලෙස මෙම හෝරස්තම්භයේ ප්‍රදර්ශනය කළ බව එවක සිටි නගර බලධාරීන් ප්‍රකාශ කළ බවද ඔහු පවසයි.
එහෙත් , මෙරට ප්‍රධානතම නගරයක් සේ සැලකෙන, විදේශීය සංචාරකයන්ද බහුලව වෙසෙන සංචාරක ආකර්ෂණය දිනු නගරයක් ලෙසද සැලකෙන සහ වෙළඳ පාරාදීසයක් ලෙස හඳුන්වන ජාත්‍යන්තරවද සුප්‍රසිද්ධ මීගමු නගරයේ ස්ථාපිතව ඇති, නගරයේ ප්‍රධානතම අනන්‍ය සලකුණක් ලෙස සැලකෙන මෙම හෝරාස්ථම්භය ප්‍රතිසංස්කරණය නොවීම විශාල අඩුපාඩුවකි.
අපට වාර්තා වන පරිදි නගරයේ මෙවැනි සුවිශේෂී ස්ථාන ඇතුළු සියලු ස්ථාන පාලනය කිරීම සහ පවත්වාගෙන යෑමට නීත්‍යානුකූල වගකීම ඇත්තේ නගර පාලනය සඳහා ස්ථාපිත කර ඇති මීගමුව මහ නගර සභාව වෙතය. ඒ අනුව මෙම හෝරාස්ථම්භය මෙතෙක් අලුත් වැඩියා නොවීම පිළිබඳව විමසන්නට මීගමුව මහ නගර සභාවේ කොමසාරිස්වරයාට අප දුරකථනයෙන් කතා කළ ද ඒ අවස්ථාවේදී ඔහු රාජකාරී ස්ථානයේ නොමැති බව එහි නිලධාරියකු අප හා පැවසීය.

නගරේ ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ මීගමු නගරයේ ඕනෑ තරම් සාර්ථක සහ සුපිරි මට්ටමේ වෙළෙඳ ව්‍යාපාර ඇති බවත් එම වෙළඳ ව්‍යාපාර හා සම්බන්ධ වී මීගමු මහ නගර සභාවට අවශ්‍ය නම් මේ හෝරාස්තම්භය ප්‍රතිසංස්කරණය කරමින් නගරයට අලංකාරයක් ගෙන දෙන ලෙස පවත්වාගෙන යා හැකි බවයි.ඒ සඳහා මෙම කටයුත්තට දායක කර ගත හැකි වෙළඳ ව්‍යාපාර සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යෑම පමණක් ප්‍රමාණවත් වන බව එම වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහසයි. මහා නගර සභාවට , නගර සභාව සතු ප්‍රතිපාදන වලින් කිසිදු මුදලක් වැය නොකර මෙම හෝරාස්ථම්භය පෙර ලෙස නගරයට අලංකාරයක් ගෙන දෙන ලෙස සහ ජනතාවට ප්‍රයෝජනයක් ගත හැකි ලෙස පවත්වාගෙන යා හැකි බව අප වෙත මේ පිළිබඳව කතා කළ බොහෝ දෙනෙකුගේ අදහසයි .
එමෙන්ම නගරයේ ව්‍යාපාරික කාන්තාවක් පෙන්වා දෙන්නේ මේ කටයුත්තේදී ආර්ථික වශයෙන් සැලකිය යුතු ලාභ ප්‍රයෝජනයක් ලබාගත නොහැකි නිසා මෙවැනි කාර්යයකට ඉදිරිපත්වීමට අවංක නගර පාලකයන් හෝ නගර බලධාරීන් මේ වන විට මීගමුවේ නොමැති බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ පෙනී යන්නේ නගරයේ සිටින සහ නගරයට පැමිණෙන ජනයාට දවසේ වේලාව දැක්වූ නගර මධ්‍යයේ ඇති හෝරස්තම්භය මේ වන විට ප්‍රතිමාස්ථම්භයක් පමණක් බවට පත්වී ඇති බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article