spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලනයේ විජයග්‍රහණය……..

Must read

stock-vector-polygonal-style-victory-sign-on-a-light-background-187362560මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිස සිටියි. ඒ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් නොවූව ද සන්ධාන මන්ත්‍රීවරුන්ගේ බහුතර ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ය. පසුගිය ජනවාරි 08 වන දින ජනාධිපතිවරණයෙන් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයකින් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකේය ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා බවට පත්වෙමිනි.

ශ්‍රී..නි.ප ඡන්ද පදනම අඩු වෙයි

පසුගිය ජූලි 13 දිනට ප්‍රථම මහින්ද මෛත්‍රී ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වනවා යැයි මාධ්‍ය ප්‍රකාශ තබමින් පාරම් බෑ ගම්බද සන්ධාන ප්‍රධානීන් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ දීර්ඝ වූ ප්‍රකාශය මගින් දැන් තක්කු මුක්කු වී ඇත. පැහැදිලිව ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි වී ඇති බව එම නිල ප්‍රකාශය මගින් තහවුරු කෙරිණි. මේ සාධකය මත බොහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද දායකයින් මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටිනු ඇත. ජනවාරි 8 ජනාධිපතිවරණයේ දී ලක්ෂ 58ක් ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේ දී අන්ත පරාජයක් ලබන්නේ සන්ධානය ලබාගන්නා මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 35කට සීමා කරමිනි. ඒ සඳහා බලපාන සාධක බොහෝ ය. ජනවාරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ සිය විධායක ජනාධිපති තනතුරේ සිටිමිනි. එහිදී රාජ්‍ය මාධ්‍ය කිසිදු හිරිකිතයකින් තොරව තම ඡන්ද පදනම ශක්තිමත් කිරීම සඳහා උපයෝගී කර ගත්තේ ය. විපක්ෂ මත මහජනතාව වෙත සන්නිවේදනය කිරීමේ හැකියාව ඉතා අවම මට්ටමක පැවතුණි. ජාතික නාලිකාවත් ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආදී විද්‍යුත් මාධ්‍යයන් ද, ලේකහවුස් පුවත්පත් මෙන්ම තම හිතවාදී අනෙකුත් පුවත්පත් ද තම ජයග්‍රහණය සඳහාම උපයෝගී කර ගත්තේ ය. මෙවර ස්වකීය අභිලාෂය ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය මාධ්‍ය අවභාවිතය ඇණ හිට ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, එයට අනුබද්ධිත මොබිටෙල් ජංගම දුරකථන සේවාව ද අද මහින්දට අහිමිව ඇත. ඒවා භාවිතා කරන්නේ නම් මුදල් ගෙවිය යුතු ය.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී සිය මැතිවරණ රැස්වීම් සඳහා රටපුරා සිටින ජනතාව තැනින් තැනට රැගෙන ගියේ ශ්‍රී ලංගම බස් රථ භාවිතා කරමිනි. ඒ සඳහා මෙතෙක් කෝටි ගණනක මුදලක් ශ්‍රී ලංගමයට ගෙවා නැත. සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 15,000ක් පමණ පසුගිය ජනාධිපතිවරණයේ දී මහජනතාව නොමග යැවීම සඳහා අනුරාධපුරයේ දී සිය රැස්වීම සඳහා සහභාගී කරවූ බව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූයේ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ උත්සවයේ දීය. එසේම සමෘද්ධිලාභී ජනතාව සහභාගී කරවීමේ අවස්ථාවද අද මහින්ද රාජපක්ෂ මහතාගෙන් ගැලවී ගොසිනි.

රාජ්‍ය මුදල් අවභාවිතය

මහින්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණයේ දී රාජ්‍ය ආයතන සියල්ලම තම මැතිවරණ කටයුතු සඳහා භාවිතා කළේ ය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, ප්‍රාදේශිය සභා, නගර සභා ආදී සකල විධි ආයතන, සේවකයින් ද, ඒවායේ සම්පත් මෙන් ම ඒ ඒ ආයතන සඳහා වෙන් කරන ලද මුදල් ද සිය ජනාධිපතිවරණ කටයුතු සඳහා වියදම් කළේ තම බූදලයෙන් වියදම් කරනා සේය. සිල් රෙදි සඳහා වියදම් කළේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රතිපාදනය. (මේ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මකව ඇත.) දිවි නැගුම මුදල් මගින් ජනතාවට ඡන්ද අල්ලස් සඳහා වියදම් කළේ කෝටි ගණනිනි. භාණ්ඩ බෙදා දීම, අරලිය ගහ මන්දිරයේ දිනපතා පැවැත් වූ දන්සැල් සඳහා ඉහත ආයතනවල මුදල් භාවිතා කළ බව හෙළිදරව් වෙමින් පවතී.

රාජ්‍ය සේවය ප්‍රචාරක කටයුතු සඳහා

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මිලියන ගණනින් මුදල් භාවිතා කොට ප්‍රචාරක කටයුතු කළ අතර, අහිංසක සමෘද්ධිලාභීන්ගේ මුදල් මගින් 2015 ලිත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රුව සහිතව මුද්‍රණය කර බෙදා හැරියේ ය. ජාතික රූපවාහිනිය මගින් ප්‍රචාරක කටයුතු කළේ නොමිලේ ය. මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව මෙම කෝටි ගණනක මුදල් ගෙවීමට සිය පක්ෂයට සිදු විය. ශ්‍රී ලංගමයට තවමත් කෝටි ගණනක් ගෙවීමට තිබේ. රාජ්‍ය මුල්‍ය භාවිතය හැරුණු කොට මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ කටයුතු සඳහා වරාය අධිකාරිය පූර්ණ වශයෙන් සේවකයන් නිදහස් කර තිබුණි. මේවායේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට ගිය එජාප මන්ත්‍රීවරුන්ගේ වාහන වලට අලාභහානි සිදු කළේ ද එම සේවකයින්ම ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග, රාජය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරණ වේදිකාවට නැංගේ ය. මෙම ක්‍රීයා නීති විරෝධීය

පරාජය නියතය

සකලවිධ රාජ්‍ය සම්පත් අවභාවිතය මෙවර මහින්ද රාජපක්ෂ මහතාට අහිමි වී ඇත. හෙලිකොප්ටර් භාවිතා කරන්නේ නම් ඒ වෙනුවෙන් මුදල් ගෙවිය යුතුය. බස් රථ නොමිලේ ලැබෙන්නේ නැත. ආහාරපාන සඳහා රජයේ මුදල් නැත. රාජ්‍ය සේවකයෝ නැත. ප්‍රාදේශීය සභා, නගර සභා බොහෝමයක් විසුරුවා ඇත. මහින්ද රාජපක්ෂ මහතා මෙම පළාත්පාලන ආයතන විසුරුවා නොහැර තව වසරක් දීර්ඝ කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කළේ ය. නමුත් වත්මන් ජනාධිපතිතුමා එකහෙළා විරුද්ධ වූයේ ය. ඒ පරාජිත ජනාධිපති යළි නැගිටුවීම සඳහා සිය සන්ධාන අනුගාමිකයන් රටපුරා ගෙන ගිය රැස්වීම් සඳහා පළාත් පාලන ආයතන සාමාජිකයින් මෙන්ම එම ආයතනවල සම්පත් ද භාවිතා කරනු ලබන බැවිනි. මෙවර ප්‍රචාරක රැස්වීම් සඳහා භූමි වෙන්කර තබා ගත නොහැකි වන සේ මැතිවරණ කොමසාරිස්වරයා තදින් ක්‍රියාකරනු ලබන බව ප්‍රකාශ කර ඇත. පෝස්ටර් කටවුට් ගැසීමට හමුදා භටයින් භාවිතා කළ නොහැකිය. මේ ආදි සියළු සම්පත් රාජපක්ෂ රෙජිමයට ඇහිරී ඇත. නමුත් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියා නිසාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසියක් අත්කර දී ඇත. ඒ රාජ්‍ය මාධ්‍ය නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ දී තිබීමය.

එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රාහී මාවතට

එක්සත් ජාතික පෙරමුණ අගමැති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන් රටම පිළිගන්නා සුවිශේෂී චරිතයකි. රාජ්‍ය සම්පත් හොරා කෑ චෞරයෙක් නොවේ. වත්මන් ජනාධිපතිතුමා ද, ඔහු කළ ආසන්නතම ප්‍රකාශයෙන් ද එය තහවුරු කර සිටියේ ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සමග සංසන්දනය කරන කල්හි රනිල් වික්‍රමසිංහ යනු සුපිරිසුදු, අත්දැකීම් බහුල, ජාත්‍යන්තරය පිළිගත්, බුද්ධිමත් මෙන්ම සැබැවින්ම පරාජය හමුවේ සත්‍ය ලෙසට පරාජය පිළිගත් මිනිසෙකි. ජය පරාජය හොඳට පුරුදු යැයි කියා පස්සදොරින් ජනාධිපතිකමේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීකමටත් කෙළ හලනා මහින්ද රාජපක්ෂ කෙනෙකු නොවේ.

ජනවාරි මස 29 වන දින අයවැය මගින් දින 100 වැඩසටහනට අනුව රනිල් මහතා ප්‍රමුඛ සුළුතර ආණ්ඩුව ජනතාවට සහන රැසක් දී තිබේ. ඒ දුෂ්කර ආර්ථික තත්වයකට රට පත් කර පරාජය වූ ජනාධිපතිවරයෙකුගේ භාණ්ඩාගාරය භාර ගනිමිනි. කෙටි කලකින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 13ක මිල පහතට දැමීය. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් කිසිදිනක අඩු නොකළ මිලකින් පහළට දැමීය.

ගෘහස්ථ ගෑස් මිල මේ වන විට දෙවරක් අඩු කර තිබේ. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000/- ඉහළ දමා ඇත. ජූලි මස 15 වන දින සිට සතොස අලෙවිසැල් මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 25ක මිල අඩු කෙරිණි. රාජ්‍ය බැංකුවල උගස් කරන ලද රණ් භාණ්ඩ සඳහා ලබා දුන් පොළී සහනය, ලබන අගෝස්තු මස සිට විශ්‍රාම වැටුප් විෂමතාව විසඳුම් ලබා දී නිසි වැටුප විශ්‍රාමිකයින්ට ලබා දීම. මේ මගින් විශ්‍රාමිකයින් හට රුපියල් 3,000 – 15,000 මුදලක් විශ්‍රාම වැටුපට එකතු වෙයි. 2006 සිට මෙම විශ්‍රාම වැටුප් විෂමතාවයට නිසි විසඳුමක් ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි විය. මහපොළ ශිෂ්‍යත්ව දීමනා රු. 5,000/- ඉහළ දැමීම, ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව දෙගුණ කිරීමට සහ ප්‍රතිලාභීන් ලක්ෂ 04 දක්වා වැඩි කිරීමට සුළුතර ආණ්ඩුව ජනතාවට ලබා දුන් සහන අතර වේ. ඒ අනුව බහුතර විශ්‍රාමිකයන්ගේ ඡන්දය එක්සත් ජාතික පෙරමුණට හිමි වනු ඇත. පනස් දහසකට අධික සිවිල් ආරක්ෂක සෙබළුන් ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීම, ග්‍රාමීය යටිතල පහසුකම් සඳහා ප්‍රමුඛතාව ලබා දීම. රැකියා දශ ලක්ෂයක් බිහි කිරීම සඳහා නිත්‍ය සැලසුමක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා පළමු පියවර ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෝටර් කාර් එකලස් කිරීමේ ආයතනයක් ඉදිකරමින් සිටී. එවැනි සිය ගණනක් ව්‍යාපෘති එජාප ආණ්ඩුවක් සමග ක්‍රියාත්මක කිරීමට බෙහෝ රටවල් ඉදිරිපත් වී ඇත. වත්මන් ජනාධිපතිතුමන් වකුගඩු රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙල සහ එයට හේතු වූවා යැයි සැලකෙන කෘෂි රසායනික ආනයන සහ භාවිතය අත්හිටුවීම.

රාජපක්ෂ ආණ්ඩුව රටට අහිමි කළ GSP සහනය නැවත ලබා ගෙන ඇලූම් කර්මාන්තයේ වර්ධනයක් ඇති වීම අනිවාර්යය සාධකයකි. දැනට GSP+ සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමග එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය කටයුතු සැලසෙමින් පවතී. ධීවර නිෂ්පාදන මිලදී ගැනීම යුරෝපා සංගමය මගින් පසුගිය රාජපක්ෂ සමයේ අත්හිටවනු ලැබීය. එම කටයුතු ද නුදුරු දිනයක දී ශ්‍රී ලාංකේය ධීවරයාට හිමිකර දීමට කටයුතු කරමින් සිටී.

මහින්ද රාජපක්ෂ සමයේ ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් ශ්‍රී ලංකාව නොසලකා හැර තිබුණි. ඒ දේශප්‍රේමී රාජපක්ෂ කිසිම රටකට යටත් නොවී සිටින විදේශ ප්‍රතිපත්තියක් ජනතාවට ප්‍රදර්ශනය කරමිනි. රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව කිසිම රටකට ගැති නැති නොබැඳි රාජ්‍ය පිළිවෙතක් අනුගමනය කිරීම මගින් ලෝකය දිනා ගෙන ඇත. සන්ධාන වාචාලයන්ට මෙම ක්‍රියාව වහකදුරු වී ඇත. මෙවැනි ජාත්‍යන්තර සබඳතා මගින් විදේශ ආයෝජන රටට ගලාගෙන ඒම මගින් බොහෝ රැකියා අවස්ථාවන්ට ඉඩකඩ ලැබෙනු ඇත. එසේම විනිමය අනුපාතය ද කෙටි කලකින් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී රුපියලේ අගය බාල්දු වීම මග හැරී යනු නොඅනුමානය.

මේ ආදී කරුණු මගින් රටේත් ජනතාවගේත් ආර්ථිකය ශක්තිමත් වන අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අත්පත් කර ගත් ප්‍රජාතන්ත‍්‍රවාදී ප්‍රතිසංස්කරණ ද බුද්ධිමත් ඡන්දදායකයා ආකර්ෂණයට ලක් කර ඇත.

බොහෝ සිවිල් සංවිධාන ජනවාරි 8 විප්ලවය මගින් රාජපක්ෂ රෙජිමය පරාජයට පත් කළ ආකාරයට මෙවරත් රාජපක්ෂ රෙජිමයේ ,අගමැති සිහිනය, බොඳ කර දැමීමට සක්‍රීය දායකත්වය ලබාදෙමින් තිබේ. ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කර, යහපාලනයේ ඉදිරි පැවැත්ම මගින් ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට තම ඡන්දය භාවිතා කළ යුතුව ඇත. ජනවාරි 8 මෙන් අගෝස්තු 17 (මෙහි එකතුවද 8) මහමැතිවරණය මගින්, යහපාලනය, විජයග්‍රහණය කර ශීලාචාර සමාජයක් බිහිකරලීමේ පරම පිවිතුරු පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාව අතේය. ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීම සැබෑ ජනතා නියොජිතයන් බහුතරයක් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කර ගනිමින් තවදුරටත්, ආර්ථික, සමාජයීය සහ ප්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගනිමු.

තිලක් වික්‍රමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article