spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලක්ෂාන්ට එරෙහි අධිකරණ ඇමතිගේ ප්‍රකාශය හෙළා දකිමු..!

Must read

Lakshan-Dias-300x295-300x200සමබිම පලකරන රයිට්ස් නව් සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු  වන නීතිඥ ලක්ෂාන්  ඩයස් මහතා ඉලක්ක කොටගෙන අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සිදු කල තර්ජනයට එරෙහිව ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය විසින් නිකුත් කළ නිවේදනයට ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන් රැසක් එකගතාවය පළ කර තිබුණි. මේ එම නිවේදනයයි.

2017 ජුනි 19

මානව හිමිකම් ආරක්ෂක සහ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට සහයෝගය දැක්වීම

නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාව නීතියට අනුකූලව ඔහුගේ නීති වෘත්තියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට තර්ජනය කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් ඔහුව බිය වැද්දීමට ගත් ප්‍රයත්නයන් පිළිබඳව අපි අතිශයින් තැති ගන්නෙමු. තනි පුද්ගලයෙකු මහජන අපකීර්තියට සහ එදිරිවාදී බවට ලක් කෙරෙන අමාත්‍යවරයාගේ මෙම හැසිරීම සිය බලය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස අපි තරයේ හෙළා දකිමු.

2017 ජූනි 14 වෙනි දින, දෙරණ රූපවාහිනී නාලිකාවෙහි “අලූත් පාර්ලිමේන්තුව” වැඩසටහනට පෙනී සිටිමින්, 2015 ආරම්භයේ සිට, මෙරට ක්‍රිස්තියානි සිද්ධස්ථානවලට එරෙහි පහර දීම් සහ අනෙකුත් හිරිහැර කිරීම් 195 ක් සිදු වී ඇති බව ඩයස් මහතා ප්‍රකාශ කළේය. ජුනි 16 වෙනි දින, ඩයස් මහතා විසින් ඉදිරිපත් කළ අදහස් ගැන සඳහන් කරමින් ජනාධිපතිතුමා සිදු කළ කතාවක් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්තිවල විකාශය කෙරිණි. එම කතාවට අනුව ඩයස් මහතාගේ ප්‍රකාශය සැබෑ දැයි විමසීමට ජනාධිපතිතුමා වහාම රෝමානු කතෝලික සභාවේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අමතා ඇති අතර, එවැනි සිදුවීම් කිසිවක් ගැන කාදිනල් හිමිපාණන් දැනුවත්ව නොසිටි බව පැවසුවේ යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. පසුව, ජුනි 17 වෙනි දින, ජනාධිපතිතුමාගේ ප්‍රකාශය යළිත් අවධාරණය කරමින් ඇමැති විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශයක් ද, ස්වාධීන රූපවාහිනී නාලිකාව විකාශය කළ අතර, ඩයස් මහතා පැය 24 ක් ඇතුළත ජාතියෙන් සමාව නොඅයදින්නේ නම් නීති වෘත්තියෙහි යෙදීමෙන් ඔහුව ඉවත් කිරීමට පියවර ගන්නා බවට තවදුරටත් තර්ජනය කළේ ය.

ඩයස් මහතා ඉදිරිපත් කළ දත්ත පාදක වී තිබුණේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය (NCEASL) විසින් ලේඛන ගත කර තිබූ තොරතුරු මතය. මෙයට, පොලීසියට කරන ලද පැමිණිලි සහ මෙවැනි සිදුවීම් බොහොමයක නඩු අංක ඇතුළත් විය. 2017 මැයි 17 වෙනි දින, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය මගින්, 2017 වසරේ දී ක්‍රිස්තියානි සිද්ධස්ථාන ඉලක්ක කළ සිදුවීම් 20 ක් ගැන කනස්සල්ල ප්‍රකාශ කරමින් ප්‍රවෘත්ති නිවේදනයක් ඉදිරිපත් කළේය. තවද, වෙරිටේ රිසර්ච් විසින් සම්පාදනය කළ “නිහඬ මර්දනය: ක්‍රිස්තියානින්ගේ ආගමික නිදහස කෙරෙහි සීමා පැනවීම් (1994-2014) – වසර විස්සක ප්‍රවනතා විශ්ලේෂණයක්” සහ ‘ආගමික නිදහසට අධිකරණ ප්‍රතිචාර : සිද්ධි විශ්ලේෂණයක් – 2015- 2014 අතරතුර ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාවෙහි මූලික අයිතිවාසිකම් කෙරෙහි අධිකරණ ප්‍රතිචාර” නමැති ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයෙහි ප්‍රලේඛන පදනම් කර ගෙන සැකසූ පර්යේෂණ වාර්තා හරහා ද ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි උල්ලංඝනය කිරීම් තවදුරටත් ඉස්මතු කරයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ද, 2017 මැයි 31 වෙනි දින, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රජාවන් ඉලක්ක කොට ගෙන ආගමික සිද්ධස්ථානවලට කරන පහර දීම් ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරමින් එතුමාගේ මැදිහත් වීම පිණිස ලිපියක් යවා ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය විසින් 2016 සැප්තැම්බර් 30 දාතමින් යවන ලද ලිපියක් හරහා මෙරටෙහි සුළුතර ආගමික කණ්ඩායමක් වන ධර්මදාන ක්‍රිස්තියානි ප්‍රජාවෙහි අභිලාෂයන් ශ්‍රී ලංකාවේ අන්තර්-ආගමික සභාවේ දී නියෝජනය කිරීමට අදහස් කරන බවට ජනාධිපතිතුමා හට සන්නිවේදනය කළ මුත්, මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබිණි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය, පැවතුණු රජයන් යටතේ ආගමික කටයුතු අමාත්‍යාංශයෙහි නිලධාරීන් මුණ ගැසී, බියවැද්දීම් සහ ප්‍රචණ්ඩත්ව ක්‍රියා ගැන තොරතුරු ඛෙදා හදා ගෙන ඇත. ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය විසින් දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනය ඇතුළුව, රජය සමග සමිපව කටයුතු කරන අනෙකුත් නියෝජිතායතන සමඟ එහි සිද්ධි වාර්තා සහ ප්‍රලේඛන බෙදා හදා ගෙන ඇති අතර, ඩයස් මහතා විසින් දක්වා ඇති සංඛ්‍යා ලේඛනවල සාක්ෂි ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියි.

මේ ආකාරයෙන් බලන විට, ජනාධිපතිතුමා සහ අධිකරණ ඇමති මෙවැනි සිද්ධීන් ගැන දැනුවත්ව නොසිටීම පුදුමයට කරුණකි. මේ ප්‍රහාර සිදු වූයේ රෝමානු කතෝලික දේවස්ථානවලට නොව, ධර්මදාන ක්‍රිස්තියානි දේවස්ථානවලට වන බව යන කාරණය කෙරෙහි අපි අවධානය යොමු කරන අතර, මැල්කම් කාදිනල් රංජිත් කටයුතු කරනුයේ කොළඹ රෝමානු කතෝලික අගරදගුරු ලෙස බව ද සටහන් කරමු.

ලක්ෂාන් ඩයස් මහතා කීර්තිමත් නීතිඥයෙක් සහ දශක දෙකකට අධික කාලයක් තුළ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයෙහි නියැලී සිටින කැප වුණු මානව හිමිකම් අයිතිවාසිකම් ආරක්ෂකයෙකි. ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බොහෝ දේශීය සහ කලාපීය මානව හිමිකම් කණ්ඩායම්වල සාමාජිකයෙකි. ඔහු කොන් කිරීමට ලක් වූ සහ වරප්‍රසාද නොලත් පුද්ගලයින් වෙනුවෙන් ශුභ සිද්ධිය පදනම් කර ගෙන, බොහෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝන නඩුවලට පෙනී සිට ඇත. සුළුතර ආගමික ප්‍රජාවන් අතර ආගමික ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීමට ලක්වූ බොහෝ වින්දිතයින් ඔහු නියෝජනය කොට ඇත.

අපි, සිවිල් සමාජයක් ලෙස, ඩයස් මහතාව ඉලක්ක කිරීම දකින්නේ, මානව හිමිකම් ක්‍රියාකාරිත්වයෙන් නිහඬ කිරීමට දරන ප්‍රයත්නයක් ලෙසය. තවද, ලක්ෂාන් ඩයස් මහතාගේ නීතිඥ වෘත්තියට සහ ඔහුගේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය ගැන අපි අපගේ බලවත් කණස්සල්ල ප්‍රකාශ කරන්නෙමු.

අපි පහත සඳහන් ක්‍රියාවන් ඉටු කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.

  1. නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ ප්‍රකාශයන් වාර්තාගත සංඛ්‍යා ලේඛන මත පදනම් වූ ඒවා බව අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට වහාම කටයුතු කිරීම.
  2. ඩයස් මහතාගේ සහ ඔහුගේ පවුලේ සුරක්ෂිතතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඩයස් මහතා විසින් තෝරා ගෙන ඇති වෘත්තියෙහි නියැලීමට ඔහුට ඇති මූලික අයිතිවාසිකම් පිළිගැනීම, සහ නීතිඥයෙක් සහ අයිතිවාසිකම්වල ආරක්ෂකයෙකු ලෙස, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙහි 14 (1) (අ) වගන්තිය යටතේ සැමට තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දිගටම භුක්ති විදීම තහවුරු කිරීම.

නිකුත් කරන ලද්දේ,
ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article